ගණන් 8
8
පහන් රුක
1 ස්වාමින්වහන්සේ මෝසෙස්ට මෙසේ කී සේක; 2“ආරොන්ට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබ පහන් හත සවි කරන කල, ඒවායින් පහන් රුක ඉදිරිපස කොටස එළිය විය යුතුයි.’ ”
3ආරොන් එසේ කළේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු පහන් රුකේ ඉදිරිපසට මුහුණ ලා සිටින සේ පහන් සවි කළේ ය. 4පහන් රුක සාදන ලද්දේ මෙලෙසිනි: එහි පාද තලයේ සිට එහි මල් මොට්ටුව දක්වා තැලූ රනින් සැදුම් ලදී. පහන් රුක සාදන ලද්දේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට පෙන්වා තිබූ ආකෘතියට හරියට ම සමාන ව ය.
ලෙවීවරුන් සම්බන්ධ ව
5 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 6“සෙසු ඉශ්රායෙල් ජනයා අතරින් ලෙවීවරුන් කැඳවා, ඔවුන් පවිත්‍ර කරන්න. 7ඔවුන් පවිත්‍ර කරන පිණිස මෙසේ කරන්න: පිරිසිදු කිරීමේ වතුර, ඔවුන් මත ඉසින්න. ඉන්පසු ඔවුන්ගේ මුළු ගතම බූ ගා, ඔවුන්ගේ ඇඳුම් සෝදා, පවිත්‍ර වන්නට සලස්වන්න. 8ඉන්පසු ඔවුහු ගොන් වස්සකු ද එහි ධාන්‍ය පූජාව සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ද ගනිත්වා. පාප පූජාවක් සඳහා දෙවන ගොන් වස්සකු ඔබ ගත යුතු ය. 9ලෙවීවරුන් හමුවීමේ කූඩාරම ඉදිරිපිටට කැඳවා ගෙනවුත්, මුළු මහත් ඉශ්රායෙල් සමාජය ම එක් රැස් කරවන්න. 10ඔබ, ස්වාමින්වහන්සේ අබියසට ලෙවීවරුන් ගෙන ආ යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා තම අත් ඔවුන් මත තැබිය යුතු ය. 11ස්වාමින්වහන්සේගේ සේවය ඉටු කරන්නට ලෙවීවරුන් යෝග්‍ය කරවන පිණිස ආරොන්, ඉශ්රායෙල් ජනතාව වෙතින් තේව කිරීමේ පූජාවක් වශයෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ ලෙවීවරුන් පිළිගැන්විය යුතු ය.
12“ගවයින්ගේ හිස් මත ලෙවීවරුන් තම අත් තැබූ පසු, ලෙවීවරුන් සඳහා පාප වන්දි නිවාරණය සලසමින්, එක් ගවයකු පාප පූජාවක් සඳහා ද අනෙකා දවන යාග පූජාවක් සඳහා ද ස්වාමින්වහන්සේට පූජා කරන්න. 13ආරොන් හා ඔහුගේ පුතුන් ඉදිරිපිට ලෙවීවරුන් සිටුවා, ස්වාමින්වහන්සේට තේව කිරීමේ පූජාවක් වශයෙන් ඔවුන් පිළිගන්වන්න. 14ඔබ මෙසේ, සෙසු ඉශ්රායෙල් ජනයා වෙතින් ලෙවීවරුන් වෙන් කළ යුතු ය. එසේ, ලෙවීවරුන් මගේ වන්නේ ය.
15“ඔබ, ලෙවීවරුන් පවිත්‍ර කොට, තේව කිරීමේ පූජාවක් වශයෙන් ඔවුන් පිළිගැන් වූ පසු, හමුවීමේ කූඩාරමේ තම සේවාවන් සඳහා ඔවුන් පැමිණිය යුතු ය. 16මුළුමනින් ම මට කැප කරන ලද ඉශ්රායෙල්වරු ඔවුහු ය. සෑම ඉශ්රායෙල් කාන්තාවකගේ ම ප්‍රථම පිරිමි දරුවා වන කුලුඳුලන් වෙනුවට මට ම මම ඔවුන් ගතිමි. 17මිනිසුන් වේවා, සතුන් වේවා ඉශ්රායෙල්හි සෑම පිරිමි කුලුඳුලෙක් ම මගේ ය. ඊජිප්තුවෙහි සියලු කුලුඳුලන් මා ගසා හෙළූ කල, මම ඔවුන් වෙන් කොට ගතිමි. 18එබැවින් ඉශ්රායෙල්හි සියලු කුලුඳුල් පුතුන් වෙනුවට, මම ලෙවීවරුන් ගතිමි. 19ඉශ්රායෙල් ජනයා උදෙසා හමුවීමේ කූඩාරමේ සේවය කරන පිණිසත්, ඔවුන්ගේ පාප වන්දි නිවාරණය සලසන පිණිසත් මම, සියලු ඉශ්රායෙල්වරුන් අතරින් ලෙවීවරුන් ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් ත්‍යාගයක් කොට දුනිමි. මෙසේ, ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානය වෙත ළඟා වන කල, කිසි ව්‍යසනයක් ඔවුනට සිදු නො වනු ඇතැ” යි පැවසූ සේක.
20මෝසෙස් ද ආරොන් ද මුළු මහත් ඉශ්රායෙල් සමාජය ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිද්දෙන්, ලෙවීවරුන් සම්බන්ධ ව කටයුතු කළහ. 21ලෙවීවරු තුමූම පවිත්‍ර වී, තම ඇඳුම් සෝදා ගත්හ. ඉන්පසු ආරොන්, ස්වාමින්වහන්සේ අබියස තේව කිරීමේ පූජාවක් ට ඔවුන් පිළිගන්වා, ඔවුන් පවිත්‍ර කරන පිණිස, ඔවුන් උදෙසා පාප වන්දි නිවාරණය සැලසී ය. 22ඉන් අනතුරුව ආරොන්ගේ ද ඔහුගේ පුතුන්ගේ ද අධීක්ෂණය යටතේ ලෙවීවරු හමුවීමේ කූඩාරමේ තම සේවා-කටයුතු සඳහා පැමිණියහ. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔවුහු ලෙවීවරුන් සම්බන්ධ ව කටයුතු කළහ.
23 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 24“ලෙවීවරුනට මෙය අදාළ ය: වයස අවුරුදු විසිපහක් හා ඊට වැඩි වූ පිරිමි, හමුවීමේ කූඩාරම් සේවයට පැමිණෙත්වා. 25එහෙත් වයස අවුරුදු පනහේදී ඔවුන් තම නිත්‍ය සේවයෙන් විශ්‍රාම ගත යුතු ය. එතැන් පටන් වැඩ නො කළ යුතු ය. 26කෙසේ වුව ද හමුවීමේ කූඩාරම් සේවයේ නියුතු තම සහෝදර ලෙවීවරුනට සහාය වීමට ඔවුනට පුළුවන. එහෙත් ඔවුන් සේවා කටයුතුවල තමන් විසින් ම නො යෙදිය යුතු ය. ලෙවීවරුනට වගකීම් පැවරීමේදී ඔබ ක්‍රියා කළ යුත්තේ මෙලෙසිනි” යි පැවසූ සේක.
موجودہ انتخاب:
ගණන් 8: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.