ගණන් 6

6
නසිරීය බාරය
1 ස්වාමින්වහන්සේ මෝසෙස්ට මෙසේ කී සේක; 2“ඉශ්‍රායෙල් ජනයා අමතා, ඔවුන්ට මෙසේ කියන්න: ‘යම් මිනිසෙක් හෝ කාන්තාවක් විශේෂ බාරයක් වී, නසිරීයයකු ලෙස ස්වාමින්වහන්සේට වෙන් වී, කැපවන්නේ නම්, 3ඒ අය මිදි යුෂ හා වෙනත් මත්පැන්වලින් වැළකී සිටිය යුතු ය. මිදි යුෂ හෝ වෙනත් මත්පැන් වර්ගයකින් තැනූ විනාකිරි කාඩි ද පානය නො කළ යුතු ය. ඒ අය මිදි යුෂ පානය නො කළ යුතු ය. අමු මිදි හෝ වියළි මිදි අහරට නො ගත යුතු ය. 4නසිරීයයකු වශයෙන් සිටින තාක් කල් ඒ අය මිදි වැලෙන් උපදන කිසිවක් හෝ දිව නො ගෑ යුතු ය; මිදි ගෙඩියේ ඇට හෝ ලෙල්ල හෝ පවා නො කෑ යුතු ය.
5“ ‘වෙන් ව සිටීමේ ඔහුගේ බාරයේ නියමිත කාල සීමාව මුළුල්ලේ ඔහුගේ හිස කෙස් නො කැපිය යුතු ය. ස්වාමින්වහන්සේට වෙන් ව, කැප ව සිටීමේ කාල සීමාව ගෙවෙන තෙක්, ඔහු ශුද්ධ ව සිටිය යුතු ය. ඔහු තම හිස කෙස් දිගට වැඩෙන්නට හැරිය යුතු ය.
6“ ‘ස්වාමින්වහන්සේට වෙන් ව, කැප ව සිටීමේ කාලය මුළුල්ලේ ඔහු මළ සිරුරක් අසලකට නො ගිය යුතු ය. 7ඔහුගේ පියා හෝ මව හෝ සහෝදර, සහෝදරියක මිය ගියේ වුව ද, ඔවුන් හේතු කොට ඔහු අපවිත්‍ර නො විය යුතු ය. මන්ද දෙවියන්වහන්සේට වෙන් ව කැප ව සිටීමේ සලකුණ ඔහුගේ හිසෙහි වන බැවිනි. 8වෙන් ව සිටීමේ ඔහුගේ කාල සීමාව පුරා ඔහු ස්වාමින්වහන්සේට කැප කරන ලදුව සිටී.
9“ ‘ඔහු ඉදිරිපිටදී යමෙක් හදිසියේ එකවර මිය ගියහොත්, ඔහු කැප කොට තිබූ ඔහුගේ හිසකේ එයින් දූෂ්‍ය වෙයි. ඔහුගේ පවිත්‍ර වීමේ දවස වන හත් වන දවසේ ඔහු තම හිස මුඩු කර ගත යුතු ය. 10අ‍ට වන දවසේ ඔහු හමුවීමේ කූඩාරම් දොරකඩදී පූජකයා වෙත කොබෙයියන් දෙදෙනකු හෝ පරෙවි පැටවුන් දෙදෙනකු ගෙන ආ යුතු ය. 11මළ මිනියක් අබියස සිටීමෙන්, ඔහු පව් කළ බැවින්, ඔහුගේ පාප වන්දි නිවාරණය ඉටු කරමින්, පූජකයා ඉන් එකකු පාප පූජාවක් වශයෙන් ද අනෙකා දවන යාග පූජාවක් වශයෙන් ද ඔප්පු කළ යුතු ය. ඒ දවසේ නසිරීයයා තම හිස නැවත කැප කළ යුතු ය. 12නසිරීයයකු ලෙස වෙන් ව සිටීමේ බාර කාලය අලුත් කරමින්, ඔහු ස්වාමින්වහන්සේට යළි කැප වී, වරද හරිගැස්සවීමේ පූජාවක් වශයෙන් එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ගෙන ආ යුතු ය. වෙන් ව සිටීමේ කාලය අතර තුර ඔහු දූෂ්‍ය වූ බැවින් කැප ව සිටි පළමු දවස් ගණන් නො ගැනේ.
13“ ‘නසිරීයයකු වෙන් ව සිටීමේ කාලය සම්පූර්ණ වූ කල, ඔහු හා සම්බන්ධ නීතිය මෙසේ වෙයි: හමුවීමේ කූඩාරම් දොරකඩ වෙත ඔහු පමුණුවනු ලැබිය යුතු ය. 14එහිදී ඔහු ස්වාමින්වහන්සේට තම පූජා පිළිගැන්විය යුතු ය. ඒවා නම්, දවන යාග පූජාවක් සඳහා කැළලක් නැති, එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා කැළලක් නැති, එක් අවුරුදු ගැහැනු බැටළු පැටවක ද ශාන්ති පූජාවක් සඳහා කැළලක් නැති බැටළු පිරිමි සතකු ද 15සමඟ ඒවායේ ධාන්‍ය පූජා හා පාන පූජා ද තෙල් මිශ්‍ර කර, සිහින් පිටියෙන් තැනූ කැවිලි හා තෙල් තවරා සෑදූ සිහින් කැවිලි යන වශයෙන් මුහුන් නොමැතිව සෑදූ රොටි වට්ටියක් ද යන දෑ ය.
16“ ‘පූජකයා, ස්වාමින්වහන්සේ අබියස ඒවා පිළිගන්වා, පාප පූජාව ද දවන යාග පූජාව ද ඔප්පු කළ යුතු ය. 17ඔහු නුමුහුන් රොටි වට්ටිය ද පිළිගන්වමින්, ස්වාමින්වහන්සේට ශාන්ති පූජාවක් වශයෙන් බැටළුවා ද ඒ සමඟ එහි ධාන්‍ය පූජාව හා පාන පූජාව ද පූජා කළ යුතු ය.
18“ ‘ඉන්පසු හමුවීමේ කූඩාරම් දොරකඩදී, නසිරීයයා තමා කැප කළ හිසේ කෙස් වැටිය බූ ගෑ යුතු ය. ඉන්පසු එම හිස කෙස් රැගෙන, ශාන්ති පූජාවට යටින් දැවෙන ගින්නට එය දැමිය යුතු ය.
19“ ‘නසිරීයයා කැප කර තිබූ තම හිසකේ බූ ගෑ පසු, පූජකයා බැටළුවාගේ තම්බන ලද ඉදිරි ගාතයක් ද රොටි වට්ටියෙහි වූ මුහුන් රහිත ව සාදන ලද කැවුමක් හා සිහින් කැවිල්ලක් ද ඔහුගේ දෝතේ තැබිය යුතු ය. 20ඉන්පසු පූජකයා තේව කිරීමේ පූජාවක් වශයෙන්, ඒවා ස්වාමින්වහන්සේ අබියස තේව කළ යුතු ය. තේව කරන ලද ළපැත්ත හා පිළිගන්වන ලද කලවය සමඟ ඒවා පූජකයාට හිමි ශුද්ධ කොටස ය. ඉන්පසු නසිරීයයාට මිදි යුෂ පානය කළ හැකි ය.
21“ ‘තමාට දිය හැකි දෑට අමතරව තමාගේ වෙන් ව සිටීමට අනුකූලව ස්වාමින්වහන්සේට තම පූජා ඔප්පු කරන්නට බාර වන නසිරීයයකු පිළිබඳ නීතිය මෙය වේ. ඔහු වූ බාරය, නසිරීය නියමයට අනුව ඔහු අකුරට ම ඉටු කළ යුතු ය.’ ”
පූජක ආශිර්වාදය
22 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 23“ආරොන්ටත් ඔහුගේ පුතුන්ටත් මෙසේ කියන්න: ‘ඉශ්‍රායෙල් ජනතාවට ඔබ ආශිර්වාද කළ යුත්තේ මේ අයුරිනි; මෙසේ කියමිනි;
24“ ‘ “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා!
ඔබ රැක-බලාගන්න සේක්වා!
25 ස්වාමින්වහන්සේ තම මුහුණ ඔබ මත බබළවන්නට සලසා,
ඔබට කරුණාභරිත වන සේක්වා!
26 ස්වාමින්වහන්සේ ඔබ වෙත සිය මුහුණ හරවා,
ඔබට ශාන්ති දානය කරන සේක්වා!” ’
27“මෙසේ ඔවුන්, ඉශ්‍රායෙල් ජනතාව මත මගේ නාමය තබනු ඇත. මම ඔවුනට ආශිර්වාද කරන්නෙමි” යි පැවසූ සේක.

موجودہ انتخاب:

ගණන් 6: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in