ගණන් 33

33
ඉශ්‍රායෙල් ගමන අදියරෙන් අදියර
1මෝසෙස්ගේ හා ආරොන්ගේ නායකත්වය යටතේ, සේනාංක වශයෙන් ඊජිප්තුවෙන් පිටත් ව ආ ඉශ්‍රායෙල් ජනයාගේ ගමන් මාර්ග අදියර මෙසේ ය. 2අදියරෙන්, අදියර ගමනේ විස්තර ස්වාමින්වහන්සේගේ අණින් මෝසෙස් සටහන් කළේ ය. ඔවුන්ගේ ගමන අදියරෙන්, අදියර මෙසේ ය.
3ඉශ්‍රායෙල්වරු පාස්කුවට පසු දින, එනම් පළමු මස පහළොස් වන දින, රාමසෙස් වෙතින් පිටත් වූහ. මුළු ඊජිප්තු ජනතාවගේ ඇස් හමුවේ ඔවුන් නිර්භය ව ගමන් ගත්තේ, 4ඊජිප්තුවරුන් ස්වාමින්වහන්සේ විසින් පහර දෙනු ලැබ, තමන් අතර වූ තමන්ගේ සියලු කුලුඳුලන් භූමදාන කරමින් සිටියදී ය. මන්ද ඊජිප්තුවරුන්ගේ දෙවි දේවතාවුන්ට ස්වාමින්වහන්සේ දඬුවම් පැමිණ වූ බැවිනි.
5ඉශ්‍රායෙල්වරු රාමසෙස් වෙතින් පිටත් ව සුක්කොත්හි කඳවුරු ලා ගත්හ.
6සුක්කොත් වෙතින් පිටත් වූ ඔවුහු කාන්තාර-මායිමේ ඒතාම්හි කඳවුරු ගැසූහ.
7ඒතාම් වෙතින් පිටත් වූ ඔවුහු, නැගෙනහිර බාල්-සෙෆොන් වෙතට මුහුණ ලා පී-හහිරොත් වෙත ආපසු හැරී ගොස්, මිග්දෝල් අසල කඳවුරු ගැසූහ.
8පී-හහිරොත් වෙතින් පිටත් වී, මුහුද මැදින් ගමන් කොට, කාන්තාරයට පිවිසි ඔවුහු ඒතාම් කතරේ තුන් දවසක් ගමන් කොට, මාරාහි කඳවුරු ගැසූහ.
9මාරා වෙතින් නික්මුණු ඔවුහු, ඒලිම් වෙත පැමිණියහ. එහි දිය උල්පත් දොළසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද විණි. ඔවුහු එහි කඳවුරු ගැසූහ.
10ඒලිම් වෙතින් නික්මුණු ඔවුහු රතු මුහුද අද්දර කඳවුරු ගැසූහ.
11රතු මුහුද වෙතින් නික්මුණු ඔවුහු සීන් කාන්තාරයේ කඳවුරු ගැසූහ.
12සීන් කාන්තාරය වෙතින් නික්මුණු ඔවුහු දොෆ්කාහි කඳවුරු ගැසූහ.
13දොෆ්කා වෙතින් නික්මුණු ඔවුහු ආලූෂ්හි කඳවුරු ගැසූහ.
14ආලූෂ් වෙතින් නික්මුණු ඔවුහු ජනතාවට බීමට ජලය නො වූ රෙෆීදිම්හි කඳවුරු ගැසූහ.
15රෙෆීදිම් වෙතින් නික්මුණු ඔවුහු සීනයි කාන්තාරයේ කඳවුරු ගැසූහ.
16සීනයි කාන්තාරය වෙතින් නික්මුණු ඔවුහු කිබ්‍රොත්-හත්තාවාහි කඳවුරු ගැසූහ.
17කිබ්‍රොත්-හත්තාවා වෙතින් නික්මුණු ඔවුහු හසේරොත්හි කඳවුරු ගැසූහ.
18හසේරොත් වෙතින් නික්මුණු ඔවුහු රිත්මාහි කඳවුරු ගැසූහ.
19රිත්මා වෙතින් නික්මුණු ඔවුහු රිම්මොන්-පෙරෙස්හි කඳවුරු ගැසූහ.
20රිම්මොන්-පෙරෙස් වෙතින් නික්මුණු ඔවුහු ලිබ්නාහි කඳවුරු ගැසූහ.
21ලිබ්නා වෙතින් නික්මුණු ඔවුහු රිස්සාහි කඳවුරු ගැසූහ.
22රිස්සා වෙතින් නික්මුණු ඔවුහු කෙහේලාතාහි කඳවුරු ගැසූහ.
23කෙහේලාතා වෙතින් නික්මුණු ඔවුහු ෂෙෆෙර් කන්දෙහි කඳවුරු ගැසූහ.
24ෂෙෆෙර් කන්දෙන් නික්මුණු ඔවුහු හරාදාහි කඳවුරු ගැසූහ.
25හරාදා වෙතින් නික්මුණු ඔවුහු මක්හෙලොත් හි කඳවුරු ගැසූහ.
26මක්හෙලොත් වෙතින් නික්මුණු ඔවුහු තහත්හි කඳවුරු ගැසූහ.
27තහත් වෙතින් නික්මුණු ඔවුහු තේරාහි කඳවුරු ගැසූහ.
28තේරා වෙතින් නික්මුණු ඔවුහු මිත්කාහි කඳවුරු ගැසූහ.
29මිත්කා වෙතින් නික්මුණු ඔවුහු හෂ්මොනාහි කඳවුරු ගැසූහ.
30හෂ්මොනා වෙතින් නික්මුණු ඔවුහු මොසේරොත් හි කඳවුරු ගැසූහ.
31මොසේරොත් වෙතින් නික්මුණු ඔවුහු බෙනෙ-යාකාන්හි කඳවුරු ගැසූහ.
32බෙනෙ-යාකාන් වෙතින් නික්මුණු ඔවුහු හොර්-හග්ගිද්ගාද්හි කඳවුරු ගැසූහ.
33හොර්-හග්ගිද්ගාද් වෙතින් නික්මුණු ඔවුහු යොට්බාතාහි කඳවුරු ගැසූහ.
34යොට්බාතා වෙතින් නික්මුණු ඔවුහු අබ්රොනා හි කඳවුරු ගැසූහ.
35අබ්රොනා වෙතින් නික්මුණු ඔවුහු එසියොන්-ගෙබෙර්හි කඳවුරු ගැසූහ.
36එසියොන්-ගෙබෙර් වෙතින් නික්මුණු ඔවුහු සීන් කාන්තාරයේ කාදෙෂ්හි කඳවුරු ගැසූහ.
37කාදෙෂ් වෙතින් නික්මුණු ඔවුහු ඒදොම් දේශ සීමාවෙහි වූ හෝර් කන්දෙහි කඳවුරු ගැසූහ. 38ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත් ව ආ පසු හතළිස් වන වසරේ පස් වන මස පළමු වන දා පූජක ආරොන්, ස්වාමින්වහන්සේගේ අණින් හෝර් කන්දට නැගී, එහිදී මියැදිණි. 39හෝර් කන්දේදී මියැදෙන විට ආරොන් එකසිය විසිතුන් වියැති ව සිටියේ ය.
40කානාන් දේශයේ නෙගෙබ්හි#33:40 නෙගෙබ්හි එනම් දකුණු දිශාවෙහි විසූ කානානීය අරාද්හි රජුට ඉශ්‍රායෙල්වරුන්ගේ පැමිණීම ගැන සැල විණි.
41ඔවුහු හෝර් කන්දෙන් නික්ම සල්මොනාහි කඳවුරු ගැසූහ.
42සල්මොනා වෙතින් නික්මුණු ඔවුහු පූනොන්හි කඳවුරු ගැසූහ.
43පූනොන් වෙතින් නික්මුණු ඔවුහු ඔබොත්හි කඳවුරු ගැසූහ.
44ඔබොත් වෙතින් නික්මුණු ඔවුහු මෝවබ් දේශ සීමාවෙහි වූ ඉයේ-අබාරීම්හි කඳවුරු ගැසූහ.
45ඉයේ-අබාරීම්#33:45 ඉයේ-අබාරීම් හෙබ්‍රෙව් ඉයීම් වෙතින් නික්මුණු ඔවුහු දීබොන්-ගාද් හි කඳවුරු ගැසූහ.
46දීබොන්-ගාද් වෙතින් නික්මුණු ඔවුහු අල්මොන්-දිබ්ලාතයිම්හි කඳවුරු ගැසූහ.
47අල්මොන්-දිබ්ලාතයිම් වෙතින් නික්මුණු ඔවුහු නෙබෝ අසල අබාරීම් කඳු පෙළෙහි කඳවුරු ගැසූහ.
48අබාරීම් කඳු වෙතින් පිටත් වූ ඔවුහු යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැන්නෙහි කඳවුරු බැඳ ගත්හ. 49ඔවුහු මෝවබ් තැන්නේ බෙත්-යෙෂීමොත්හි සිට ආබෙල්-ෂිට්ටීම් දක්වා ම යොර්දාන් ගඟ ඔස්සේ කඳවුරු ගැසූහ.
50යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැන්නේදී, ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 51“ඉශ්‍රායෙල්වරුනට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබ යොර්දාන් ගඟ තරණය කර, කානාන් දේශයට පිවිසි කල, 52දේශ වාසී සියල්ලන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්න. ඔවුන්ගේ නෙළූ පිළිම හා වාත්තු රූප සියල්ල විනාශ කර, උස් තැන්හි ඇති ඔවුන්ගේ පුදසුන් සියල්ල බිඳ හෙළන්න. 53දේශය මා ඔබට අත්කර දී ඇති බැවින්, එය අත්පත් කර ගෙන, එහි පදිංචි වන්න. 54පස ඇට දැමීමෙන් ඔබේ පෙළපත්වලට අනුව දේශය බෙදා දෙන්න. විශාල පිරිසකට විශාල උරුමයක් ද කුඩා පිරිසකට කුඩා උරුමයක් ද දෙන්න. පස ඇට දැමීමෙන් ලැබෙන කොටස ඔවුන්ට හිමි වේ. ඔබේ පාරම්පරික ගෝත්‍රවලට අනුව එය බෙදා දෙන්න.
55“ ‘එහෙත් ඔබ, ඒ දේශ වාසීන් පලවා නෑරියහොත්, එහි නැවතී සිටින්නට ඔබ ඉඩ දුන් අය ඔබේ ඇස්වලට කටු ද ඔබේ ඇලයට උල් ද වනු ඇත. ඔබ වෙසෙන දේශයේ ඔවුන් ඔබට කරදරයක් වනු ඇත. 56එවිට මම, ඔවුන්ට කරන්නට සැලසුම් කළ දෑ ඔබට කරන්නෙමි’ ” යි පැවසූ සේක.

موجودہ انتخاب:

ගණන් 33: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in