ගණන් 25

25
ඉශ්‍රායෙල් දූෂ්‍ය වීම
1ඉශ්‍රායෙල්වරුන් ෂිට්ටීම්හි නතර ව සිටියදී ඉශ්‍රායෙල් මිනිස්සු මෝවබ් ස්ත්‍රීන් සමඟ අනාචාරයේ යෙදෙන්නට පටන් ගත්හ. 2මෙම ස්ත්‍රීහු තම දේවතා පූජාවලට ඔවුන් කැඳවූහ. ඉශ්‍රායෙල් ජනයා එම පිදේනි වළඳා, එම දේවතාවුන් ඉදිරියේ වැඳ වැටුණහ. 3මෙසේ ඉශ්‍රායෙල් ජනයා පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කිරීමට බැඳුණු නිසා, ස්වාමින්වහන්සේගේ කෝපය ඔවුන්ට එරෙහිව ඇවුළුණේ ය.
4 ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “ස්වාමින්වහන්සේගේ දැඩි කෝපය ඉශ්‍රායෙල් වෙතින් ඉවත හැරෙන පිණිස, මේ ජනයාගේ නායකයින් හැම දෙනා අල්ලා, මරණයට පත් කොට, ස්වාමින්වහන්සේ ඉදිරියේ මහ දවාලේ එල්ලා තබන්නැ” යි පැවසූ සේක.
5එබැවින් මෝසෙස් ඉශ්‍රායෙල් විනිසුරුවන් අමතමින්, “ඔබ හැම කෙනෙක් ම, පෙයෝර්හි බාල් නමස්කාරයට එක් වූ ඔබගේ ගෝත්‍රයට අයත් මිනිසුන් මරා දැමිය යුතු යැ” යි නියෝග කළේ ය.
6හමුවීමේ කූඩාරම් දොරකඩ ඔවුන් වැලපෙමින් සිටින අතරේ, මෝසෙස් හා මුළු ඉශ්‍රායෙල් ජන සභාව බලා සිටියදී මෙන්න! එක් ඉශ්‍රායෙල් ජාතිකයෙක් මිදියන් ස්ත්‍රියක තම කූඩාරමට කැඳවාගෙන ආවේ ය. 7එවිට පූජක ආරොන්ගේ පුත්‍ර එලෙයාසර්ගේ පුත් පීනෙහාස් එය දැක, සමූහයා වෙතින් නැගිට, හෙල්ලයක් තම අතින් ගෙන, 8පෙර කී ඉශ්‍රායෙල් ජාතිකයා පසුපසින් කූඩාරමට ඇතුළු විය. එම ඉශ්‍රායෙල් ජාතිකයාගේ හා එම ස්ත්‍රියගේ සිරුරු පසාරු කර ගෙන යන සේ, ඔහු ඔවුන් දෙදෙනාට ම හෙල්ලයෙන් ඇන්නේ ය. ඉශ්‍රායෙල් ජනයා අතර පැතිරුණු වසංගතය එවිට නතර විය. 9එහෙත් එම ව්‍යසනයෙන් මිය ගිය සංඛ්‍යාව විසිහතර දහසකි.
10 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 11“පූජක ආරොන්ගේ පුත්‍ර එලෙයාසර්ගේ පුත් පීනෙහාස්, මගේ උදහස ඉශ්‍රායෙල් ජනයා වෙතින් ඉවත හැරවී ය. මගේ උද්වේගයෙන් මා ඔවුන් වනසා නො දමන ලෙසට, ඔවුන් අතරේ මගේ ගෞරවය උදෙසා මා මෙන් ම ඔහුත් උද්යෝගී විය. 12එබැවින් මගේ සාම ගිවිසුම මා ඔහු සමඟ පිහිටු වන වග ඔහුට කියන්න. 13ඔහු තමාගේ දෙවියන්වහන්සේගේ ගෞරවය උදෙසා, උද්යෝගිමත් වූ බැවින් හා ඉශ්‍රායෙල් ජනයා උදෙසා පාප වන්දි නිවාරණයක් ඉටු කළ බැවින්, ඔහු ද ඔහුගෙන් පැවත එන්නන් ද සදාතනික පූජකත්වයේ ගිවිසුමක් ලබනු ඇතැ” යි පැවසූ සේක.
14මිදියන් කත සමඟ මරා දමන ලද ඉශ්‍රායෙල් මිනිසාගේ නම සිම්රී ය. සාලූගේ පුත්‍රයා වූ ඔහු සිමියොන් ගෝත්‍රික පෙළපතක නායකයා ව සිටියේ ය. 15මරා දමන ලද මිදියන් කතගේ නම කොස්බී ය. ඈ මිදියන් පෙළපතක ගෝත්‍ර නායකයකු වූ සූර්ගේ දියණිය වූවා ය.
16 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 17“මිදියන්වරුන් සතුරන් සේ සලකා පහර දෙන්න. 18මන්ද පෙයෝර්හි සිද්ධියේ ද පෙයෝර් හේතුවෙන් වසංගත දවස පැමිණි කල, මිදියන් නායකයාගේ මරා දමන ලද දියණිය හෙවත් ඔවුන්ගේ සහෝදරිය වන කොස්බී හා සම්බන්ධ සිද්ධියේදී ද ඔවුන් ඔබ රැවටීමෙන්, ඔබ සතුරන් සේ ඔවුන් සැලකූ බැවිනි” යි පැවසූ සේක.

موجودہ انتخاب:

ගණන් 25: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in