ලෙවී 21

21
පූජකයින් සඳහා නීති
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින් අමතා මෙසේ කියන්න: ‘මිය ගිය තම නෑයකු වෙනුවෙන් පූජකයකු අපවිත්‍ර නො විය යුතු ය. 2එහෙත් ඔහුගේ ළඟ නෑයින් වූ ඔහුගේ මව හෝ ඔහුගේ පියා හෝ ඔහුගේ පුතා නැතහොත් දියණිය හෝ ඔහුගේ සහෝදරයා හෝ 3සැමියකු නැති බැවින් ඔහුගෙන් යැපෙන ඔහුගේ අවිවාහක සහෝදරිය හෝ යන කෙනකුගේ මරණය හේතු කොට පමණක් අපවිත්‍රවීමට ඔහුට පුළුවන. 4සැමියකු වශයෙන් තම නෑයින් අතර තමා අපවිත්‍ර කර ගෙන, ඔහු තමා දූෂ්‍ය කර ගැනීම නො කළ යුතු ය.
5“ ‘පූජකයින් තම හිස මුඩු කර නො ගත යුතු ය. තම රැවුල් අග්ගිස් කපා දැමීම නො කළ යුතු ය. තම සිරුර කපා නො ගත යුතු ය. 6ඔවුන් තම දෙවියන්වහන්සේට ශුද්ධ ව සිටිය යුතු ය. ඔවුන් තම දෙවියන්වහන්සේගේ නාමය අපවිත්‍ර නො කළ යුතු ය. මන්ද ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය හෙවත් ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා ඔප්පු කරන්නෝ ඔවුහු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව පැවතිය යුතු ය.
7“ ‘පූජකයින් ඔවුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධ බැවින් වේශ්‍යාවක ව දූෂ්‍ය වූ හෝ තම සැමියාගෙන් දික්කසාද වූ හෝ ස්ත්‍රියක ආවාහ කර ගැනීම නො කළ යුතු ය. 8පූජකයින් ඔබේ දෙවියන්වහන්සේගේ භෝජනය පිළිගන්වන බැවින්, ඔවුන් ශුද්ධ වග සලකන්න. ඔබ ශුද්ධවත් කරන ඔබේ ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින්, පූජකයින් ද ශුද්ධ සේ සලකන්න.
9“ ‘පූජකයකුගේ දියණියක වෙසඟනක වී, තමා දූෂ්‍ය කරගන්නී නම්, ඈ තම පියා ද දූෂ්‍ය කරන්නී ය. ඇය ගින්නෙහි පුලුස්සා දැමිය යුතු ය.
10“ ‘තමාගේ සෙසු සහෝදරයින් අතරින් හිසේ ආලේප තෙල් වත් කරනු ලැබ, පූජක වස්ත්‍ර ඇඟලීමට පූජකාලේපය ලද්දා වන උත්තම පූජකයා, තම හිසකේ විදහා නො ගත යුතු ය; තමන් හැඳිවත් ඉරා නො ගත යුතු ය. 11මළ මිනියක් ඇති කවර තැනකටවත් ඔහු නො යා යුතු ය. තම පියාගේ හෝ තම මවගේ හෝ මිනිය වෙත ළං වීමෙන් පවා ඔහු අපවිත්‍ර නො විය යුතු ය. 12ඔහු තම දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය හැර නො ගිය යුතු ය. එය අපවිත්‍ර නො කළ යුතු ය. මන්ද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෙලින් ඔහු කැප කර ඇති බැවිනි. මම ස්වාමින්වහන්සේ ය.
13“ ‘ඔහු විවාහ වන කාන්තාව කන්‍යාවියක විය යුතු ය. 14වැන්දඹු හෝ දික්කසාද හෝ වූ කාන්තාවක්වත්, වෙසඟනක ව දූෂ්‍ය වූ තැනැත්තියක්වත් ඔහු ආවාහ කර නො ගත යුතු ය. ඔහු ආවාහ කර ගත යුත්තේ, තම ජාතියට අයත් කන්‍යාවියක ය. 15එලෙස ඔහු තම ජනයා මධ්‍යයේ තම දරු පරපුර දූෂිත නො කළ යුතු ය. ඔහු ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මම යැ’ යි” පැවසූ සේක.
16 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 17“ආරොන් අමතා මෙසේ කියන්න: ‘මතු පරම්පරාවන්හි දී ඔබෙන් පැවත එන්නන් අතර ඇද පලුදු ඇති කිසිවකු ස්වකීය දෙවියන්වහන්සේගේ භෝජනය පිළිගැන්වීමට ළං නො විය යුතු ය. 18ඇද පලුදු ඇති කිසිවකු එසේ ළං නො විය යුතු ය. අන්ධ, කොර, විරූපී හෝ විකලාංග ඇති කිසිවකු, 19අතක් නැතහොත් පයක් අබ්බගාත වූවකුවත්, 20කුදු වූ, කුරු වූ හෝ ඇසක යම් දෝෂයක් ඇතියකුවත්, වණ හෝ දද ඇතියකුවත්, අණ්ඩ-කෝෂය තැලුනු කෙනකුවත් 21යන වශයෙන් පූජක ආරොන්ගෙන් පැවත එන ඇද පලුදු ඇති කිසිවකු ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා පිළිගැන්වීමට ළං නො විය යුතු ය. එබන්දකු, ඇද පලුදු ඇතියකු බැවින්, තමන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔප්පු කිරීමට ඔහු ළං නො විය යුතු ය. 22ඔහුගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ආහාර පූජාවල ශුද්ධ මෙන් ම අතිශුද්ධ දෑ වැළඳීමට ඔහුට පුළුවන. 23එහෙත්, තමාට ඇද පලුද්දක් ඇති බැවින්, තිරය වෙත ළඟාවීම හෝ පූජාසනය වෙත ළං වීම හෝ ඔහු නො කළ යුතු ය. මගේ ශුද්ධස්ථානය ඔහු නො කෙලෙසිය යුතු ය. ඔවුන් ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මම යැ’ යි” පැවසූ සේක.
24මෙසේ මෝසෙස්, ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත්, සියලු ඉශ්‍රායෙල් පුත්‍රයින්ටත් එපවත් පැවසී ය.

موجودہ انتخاب:

ලෙවී 21: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in