ලෙවී 10
10
නාදාබ්ගේ හා අබීහූගේ මරණය
1ආරොන්ගේ පුතුන් වූ නාදාබ් හා අබීහූ තම ධූම පාත්‍ර ගෙන, ඒවායේ ගිනි බහා, කට්ටකුමංජල් ද දමා, ස්වාමින්වහන්සේගේ අණට පටහැනි වූ අනවසර ගින්නක්, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔප්පු කළහ. 2එබැවින්, ස්වාමින්වහන්සේ අබිමුවින් ගිනි නික්ම අවුත්, ඔවුන් දෙදෙනා දවා දැමිණ; ඔවුහු ස්වාමින්වහන්සේ ඉදිරියේ මළහ. 3එවිට මෝසෙස්, ආරොන් අමතමින්, “ස්වාමින්වහන්සේ කතා කළ විට අදහස් කළේ මෙයයි:
“ ‘මා වෙත ළඟාවෙන්නන් අතරේ
මම මගේ පාරිශුද්ධත්වය පෙන්වමි.
සියලු ජනයින්ගේ ඇස් හමුවේ
මම ගෞරවයට පාත්‍ර වන්නෙමි’ ” යි
පැවසී ය.
ආරොන් නිහඬ ව ම සිටියේ ය.
4මෝසෙස් ඉන්පසු, ආරොන්ගේ බාප්පා වූ උස්සියෙල්ගේ පුතුන් වූ මිෂායෙල් සහ එල්සාෆාන් කැඳවා, “එන්න; ඔබේ මේ ඥාති සහෝදරයින් මෙම ශුද්ධස්ථානය ඉදිරිපිටින් ඉවතට ගෙන, කඳවුරෙන් පිටතට ගෙන යන්නැ” යි කීවේ ය. 5එබැවින් ඔවුහු පැමිණ, මෝසෙස් අණ කළ පරිදි, පූජක-කබා පිටින් ම සිටි මළ මිනිසුන් දෙදෙනා කඳවුරෙන් පිටතට ගෙන ගියහ.
6මෝසෙස් ඉන්පසු, ආරොන් ද ඔහුගේ පුත්‍රයින් වූ එලෙයාසර් හා ඊතාමර් ද ඇමතී ය. “ඔබේ ශෝකය දැක්වීමට හිසකේ අවුල් කර නො ගන්න. ඔබේ හැඳිවත් ඉරා නො ගන්න. එසේ කළොත්, ඔබ නසිනු ඇත, ස්වාමින්වහන්සේ මේ මුළු සමූහයා ගැන ම කෝපවනු ඇත. එහෙත් ස්වාමින්වහන්සේ ගින්නෙන් වනසා දැමූවන් උදෙසා ඔබේ නෑයින් වන ඉශ්‍රායෙල් වංශික සියල්ලනට වැලපෙන්නට හැකි ය. 7ස්වාමින්වහන්සේගේ ආලේප තෙලින් ඔබ ආලේපිත බැවින්, හමුවීමේ කූඩාරම් දොරකඩින් ඉවතට නො යන්න; ගියොත් ඔබ නසිනු ඇතැ” යි පැවසී ය. එබැවින් ඔවුහු මෝසෙස් කී ලෙස කළෝ ය.
8ඉන්පසු ස්වාමින්වහන්සේ ආරොන් ඇමතූ සේක්, 9“හමුවීමේ කූඩාරම තුළට ඔබ ඇතුළු වන විටෙක, ඔබ නො නසින පිණිස, ඔබ ද ඔබේ පුත්‍රයින් ද මිදි යුෂ හෝ වෙන යම් මත්පැනක් හෝ පානය කර නො සිටිය යුතු ය. පරපුරෙන්, පරපුරට මෙය සදාතනික නියෝගයකි. 10ශුද්ධ දෑ හා පොදු දෑ අතර ද පවිත්‍ර දෑ හා අපවිත්‍ර දෑ අතර ද වෙනස පැහැදිලි ව ඔබ වටහා ගත යුතු ය. 11මෝසෙස් මගින් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනතාවට දුන් නියෝග සියල්ල ඔබ ඔවුනට ඉගැන්විය යුතු යැ” යි පැවසූ සේක.
12මෝසෙස්, ආරොන්ට ද ජීවත් ව සිටින ඔහුගේ පුතුන් වූ එලෙයාසර්ට හා ඊතාමර්ට ද කතා කරමින්, “ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදූ පූජාවෙන් ඉතිරි ව ඇති ධාන්‍ය පූජාව ගෙන, මුහුන් රහිත අහරක් තනා, පූජාසනය පසෙක සිට අනුභව කරන්න. එය අතිශුද්ධ ය. 13එය අනුභව කළ යුත්තේ, ශුද්ධ තැනකදී ය. මන්ද ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදූ පූජාවන්ගෙන් ඔබේ පංගුවත්, ඔබේ පුතුන්ගේ පංගුවත් එයයි. මා අණ ලැබ ඇත්තේ එලෙසයි. 14එහෙත්, පූජාවෙන් තේව කරන ලද ළපැත්ත හා පිළිගන්වන ලද කලවය ඔබටත්, ඔබේ පුතුනට සේ ම, ඔබේ දූවරුනටත් අනුභව කළ හැකියි. පවිත්‍ර තැනක සිට එය අනුභව කරන්න. ඉශ්‍රායෙල්වරුන්ගේ ශාන්ති පූජාවලින් ඔබේ පංගුව වශයෙන් එය ඔබටත්, ඔබේ දරුවන්ටත් වෙන් කර දී ඇත. 15පිළිගන්වන ලද කලවය ද තේව කරන ලද ළපැත්ත ද තේව කිරීමේ පූජාවක් වශයෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කරනු සඳහා ගෙන ආ යුත්තේ, ගින්නෙන් පිදූ මේද කොටස් සමඟිනි. ස්වාමින්වහන්සේ අණ කර ඇති පරිදි එය ඔබටත්, ඔබේ දරුවන්ටත් හිමි නිත්‍ය පංගුව වන්නේ යැ” යි පැවසී ය.
16ඉන්පසු මෝසෙස්, පාප පූජාවේ එළුවා කොහේදැයි සොයා බැලූ කල, ඌ දවා දමා ඇති වග දැනගත්තේ ය. එවිට, ආරොන්ගේ ජීවත් ව සිටි පුතුන් වූ එලෙයාසර් හා ඊතාමර් සමඟ කෝප වූ ඔහු, 17“නුඹලා මේ ශුද්ධස්ථානය ඇතුළත පාප පූජාව අනුභව නො කළේ ඇයි? එය අති ශුද්ධයි. එය නුඹලාට දෙනු ලැබ ඇත්තේ, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔවුන් උදෙසා පාප වන්දි නිවාරණය සලසමින්, ජන සමාජයේ වරද පහ කරන පිණිසයි. 18බලනු; උගේ ලේ ශුද්ධස්ථානය තුළට ගෙන යනු ලැබ නැත. නුඹලා මේ ශුද්ධ පෙදෙස ඇතුළත එළුවා අනුභව කළ යුතු ව තිබිණැ” යි කීවේ ය.
19ආරොන්, මෝසෙස්ට පිළිතුරු දෙමින්, “මේ අද දවසේ ඔවුන් තම පාප පූජාවත්, දවන යාග පූජාවත් ස්වාමින්වහන්සේ අබියස ඔප්පු කළ නමුදු, මට සිදු වී ඇති දෑ මේ ආකාරයි. අද මා ඒ පාප පූජාව අනුභව කළා නම්, ස්වාමින්වහන්සේ ප්‍රසන්න වෙන්න තිබුණා දැ?” යි පැවසී ය. 20මෝසෙස් ඒ ඇසීමෙන් සෑහීමට පත් විය.
موجودہ انتخاب:
ලෙවී 10: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.