යෝෂුවා 9
9
ගිබෙයොන් වාසීන්ගේ රැවටිල්ල
1තවද යොර්දාන් ගඟට බටහිර දෙසින් පිහිටි කඳු රටේ ද බටහිර කඳු බෑවුම්හි#9:1 බටහිර කඳු බෑවුම්හි හෙබ්‍රෙව් ෂෙෆේලා ද ලෙබනොන් දෙසට මධ්‍යධරණී මුහුදු වෙරළ ඔස්සේ ද සිටි සියලු රජවරු–හිත්තිවරුන්ගේ ද, අමෝරිවරුන්ගේ ද, කානානිවරුන්ගේ ද, පෙරිස්සිවරුන්ගේ ද, හිවීවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද රජවරු මේ දෑ ගැන ඇසූ කල, 2ඔවුහු යෝෂුවාට හා ඉශ්‍රායෙල්ට එරෙහිව සටන් වැදීමට එක අරමුණින් එකට එකතු වූහ.
3එහෙත් ගිබෙයොන් වාසීහු මේ අතර යෝෂුවා යෙරිකෝවටත්, ආයිටත් කළ දෑ ඇසූ කල, 4ප්‍රයෝගයෙන් ක්‍රියා කරමින්, තමන් තානාපතීන් මෙන් පෙන්වමින්, තම බූරුවන් සඳහා අබලන් ගෝණි පඩංගු ද පරණ වූ, ඉරුණු, පිළියම් කළ මිදි යුෂ සම්-බඳුන් ද ගෙන ගියහ. 5අණ්ඩ දැමූ, ගෙවී ගිය පාවහන් පය ලූ, දිරාගිය ඇඳුම් ඇඟ ලූ ඔවුන්ගේ ආහාර සියල්ල වේළුණු, පුස් බැඳුණු ඒවා විය. 6ඉන්පසු ඔවුහු ගිල්ගාල් කඳවුරේ සිටි යෝෂුවා වෙත ගොස්, ඔහුටත්, ඉශ්‍රායෙල් ජනයාටත් කතා කොට, “අප ආවේ දුර රටකින්; එබැවින් දැන් අප සමඟ ගිවිසුමක් කරන්නැ” යි ඉල්ලූහ.
7ඉශ්‍රායෙල් මිනිස්සු හිවීවරුන් අමතමින්, “ඇතැම් විට ඔබ අප අතරේ වාසය කරනවා විය හැකියි. එහෙම නම් ඔබ සමඟ අප ගිවිසුමක් ඇතිකර ගන්නේ කෙසේ දැ?” යි ඇසූහ.
8ඔවුහු යෝෂුවා අමතා, “අපි ඔබගේ දාසයෝ” යි පැවසූහ.
එහෙත් යෝෂුවා, “නුඹලා කවුරු ද? කොහේ සිට ආවා දැ?” යි ඇසී ය.
9ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබගේ දාසයින් වන අප ආවේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කීර්තිය නිසා බොහෝ දුර ඈත දේශයක සිටයි. මන්ද, උන්වහන්සේ ගැන තොරතුරුත්, උන්වහන්සේ ඊජිප්තුවේ කළ සියල්ලත්, 10යොර්දානයෙන් එගොඩ අමෝරි රජවරුන් දෙදෙනා වන හෙෂ්බෝන්හි රජු වූ සීහොන්ට හා අෂ්තාරෝත්හි රජකම් කළ බාෂාන්හි රජු වූ ඕග්ට කළ සියල්ලත් ගැන අප අසා තියෙනවා. 11එබැවින් අපේ වැඩිහිටියන් හා අපේ රට වැසියන් සියලු දෙනා අප අමතා, ‘ඔබේ ගමනට අවශ්‍ය දෑ රැගෙන, ඔවුන් හමු වන්නට ගොස්, ඔවුන්ට කතා කොට, “අපි ඔබගේ දාසයෝ; අප සමඟ ගිවිසුමක් කරන්න” කියා කියන්නැ’ යි කීවා. 12මෙන්න, අපේ රොටි; ඔබ වෙත එන්නට අප පිටත් වූ දවසේ, අපගේ ගමනට ආහාර වශයෙන් අපේ ගෙවලින් මේවා ගන්නා විට ඒවා උණුසුම් ව තිබුණා. ඒත් දැන්! මෙන්න ඒවා වේලිලා. පුස් බැඳිලා. 13මේ මිදි යුෂ සම්-බඳුන් අප ඒවා පුරවද්දී, ඒවා නැවුම් ව තිබුණා. ඒත් දැන්, ඒවා පැළී ගොසින්. අපගේ හැඳිවත් හා පාවහන්, ගමන ඉතා දිගු නිසා ඒවා අබලන් වෙලා” යි පැවසූහ.
14ඉශ්‍රායෙල් මිනිස්සු ඔවුන්ගේ ආහාර පිළිගත් නමුදු, ස්වාමින්වහන්සේගෙන් උපදෙස් විමසුවේ නැත. 15යෝෂුවා ඔවුන් සමඟ සාමය ඇතිකර ගෙන, ඔවුනට ජීවත් වන්නට ඉඩ දෙමින්, ඔවුන් සමඟ ගිවිසුමක් ඇතිකර ගත්තේ ය. ජන සමූහයාගේ නායකයෝ ඔවුනට දිවුරුවෝ ය.
16ඔවුන් සමඟ ගිවිසුමක් කර දවස් තුනකට පසු, ඔවුන් තම අසල්වාසීන් වගත්, තමනට කිට්ටුවෙන් වාසය කරන වගත් ඉශ්‍රායෙල්වරුන්ට දැනගන්නට ලැබිණි. 17ඉශ්‍රායෙල් ජනයා පිටත් වී, තුන් වන දවසේ ඔවුන්ගේ පුරවර වෙත ළඟා වූහ. ඔවුන්ගේ පුරවර වූයේ ගිබෙයොන්, කෙෆීරා, බෙයේරොත් හා කිරියත්-යෙයාරීම් ය. 18එහෙත් ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ට පහර දුන්නේ නැත; මන්ද, සමූහයාගේ නායකයින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට දිවුරා තිබූ බැවිනි.
එවිට සමස්ත ජන සමූහයා නායකයින්ට එරෙහිව මැසිවිලි නගන්නට වූහ. 19එහෙත් නායක සියල්ලෝ මුළු සමූහයාට පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් අප ඔවුන්ට දිවුරා ඇති නිසා දැන් අප ඔවුන්ට අත නො තැබිය යුතු ය. 20අප ඔවුන්ට කරන්නේ මෙයයි: අප ඔවුන්ට දිවුළ දිවුරුම කඩ කිරීමෙන්, උදහස අප පිටට නො ඒවා; ඔවුන්ට ජීවත් වන්නට ඉඩ හරිමු” යි පැවසූහ. 21නායකයෝ ඔවුන්ට මෙසේ ද කීහ. “ඔවුන් ජීවත් වුණා වේ. එහෙත් ඔවුන් මුළු ජන සමූහයාට මෙහෙ කරන පිණිස දර කපන්නන් හා දිය අදින්නන් බවට පත් වන්නට ඉඩ හරිමු.” මෙසේ නායකයන් ඔවුන්ට දුන් පොරොන්දුව ඒ ආකාරයට ම ඉටු කරනු ලැබී ය.
22ඉන්පසු යෝෂුවා, ගිබෙයොන් වාසීන් කැඳවා, ඔවුන් අමතමින්, “නුඹලා අප අතරෙහි වෙසෙමින්, ‘අප ජීවත් වන්නේ ඔබට බොහෝ ඈතින්’ කියමින් අප රැවටුවේ ඇයි? 23එබැවින් දැන් නුඹලා ශාපයකට යටත්. නුඹලාගෙන් ඇතැම් දෙනකු කිසි දින නො නවතින දාසයන් වන්නේ ය. ඒ, මගේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා දර කපන්නන් ද දිය අදින්නන් ද ලෙස මෙහෙ කිරීමෙන් යැ” යි කී ය.
24ඔවුහු යෝෂුවාට පිළිතුරු දෙමින්, “මුළු දේශය ඔබට දෙන්නටත්, එහි වාසය කරන සියල්ලන් ඔබ ඉදිරියෙන් විනාශ කර දමන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය සේවක මෝසෙස්ට අණ කළ හැටි ඔබේ සේවකයින් වන අපට පැහැදිලි ව පවසනු ලැබිණ. ඔබ නිසා අපගේ ජීවිත ගැන වූ මහ භයක් අපට ඇති විණ. අප එසේ කළේ එබැවිනි. 25මෙන්න, අප දැන් ඔබ අතේ; ඔබට හොඳයයි, හරියයි පෙනෙන ලෙස අපට කරන්න; එසේ කරන්නැ” යි පැවසූහ.
26එබැවින් ඔහු ඔවුන්ට කළේ මෙයයි: ඔහු ඉශ්‍රායෙල්වරුන් අතින් ඔවුන් මුදා ගත්තේ ය. ඔවුහු ද ඔවුන් මරා දැමුවේ නැත. 27එහෙත් ඔහු ඒ දවසේ ජන සමාජය උදෙසාත්, උන්වහන්සේ තෝරා ගන්න ස්ථානයේ ස්වාමින්වහන්සේගේ පූජාසනය උදෙසාත්, අද දක්වා ම තිබෙන පරිදි දර කපන්නන් ද දිය අදින්නන් ද හැටියට ඔවුන් පත් කළේ ය.
موجودہ انتخاب:
යෝෂුවා 9: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.