යෝෂුවා 7
7
ආකාන්ගේ පාපය
1එහෙත් ඉශ්රායෙල්වරු විනාශයට කැප කළ දෑ ගැන විශ්වාසය කඩ කළහ; යූදා ගෝත්රික සෙරාගේ පුත්, සබ්දීගේ පුත්, කර්මීගේ පුත්, ආකාන්, කැප කළ දේවලින් කීපයක් ගත්තේ ය. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්රායෙල් ජනයාට එරෙහිව ඇවුළුණේ ය.
2යෝෂුවා, බෙතෙල්ට නැගෙනහිර දෙසින් බෙත්-ආවෙන් අසල පිහිටි ආයි වෙත යෙරිකෝවේ සිට මිනිසුන් යැවී ය. ඔහු ඔවුන් අමතා, “ගොසින්, දේශයේ ඔත්තු බලන්නැ” යි පැවසී ය. එබැවින් ඒ මිනිස්සු පිටත් ව, ආයිහි ඔත්තු බැලූහ.
3යෝෂුවා වෙත පෙරළා ආ ඔවුහු ඔහු අමතා, “ආයිට එරෙහිව සියලු ජනයා යා යුතු නැත; මිනිසුන් දෙතුන් දහසක් පමණ ගොස්, ආයිට පහර දිය හැක. හැමෝම වෙහෙස කරවීමට වුවමනා නැත. මන්ද එහි සිටින්නේ ඔවුන් ස්වල්ප දෙනෙකැ” යි කීහ. 4මෙසේ මිනිසුන් තුන්දහසක් පමණ ජනයා වෙතින් ගියහ; එහෙත් ඔවුහු, ආයි මිනිසුන් වෙතින් පලා දිවූහ. 5ආයි වාසීහු, ඔවුන්ගෙන් තිස්හය දෙනකු පමණ මරා දැමූහ. ඔවුහු නගර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් පන්නා ගොස්, බෑවුමේදී ඔවුන් ගසා හෙළූහ. එබැවින් ජනයාගේ හදවත් දියවී, වතුර මෙන් වූයේ ය.
6එවිට යෝෂුවා තම හැඳිවත් ඉරාගෙන, ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස මුණින් තලා බිම වැටී, සවස් වන තෙක් ම සිටියේ, ඉශ්රායෙල් වැඩිහිටියන් ද සමඟිනි. ඔවුහු තම හිස් පිට දූලි ඉසගත්හ. 7යෝෂුවා කතා කොට, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, අප විනාශ කර දමන පිණිස, අමෝරිවරුන්ගේ අත්වලට අප හසුකර දෙන්නට, මේ ජනතාව යොර්දානෙන් මෙගොඩට ගෙන ආවේ ඇයි? යොර්දානෙන් එගොඩ නවතින්නට අප සතුටු වූවා නම්! 8අහෝ ස්වාමිනි, දැන් ඉශ්රායෙල් තම සතුරන් වෙතින් ආපස්සට හරවනු ලැබූ බැවින්, මා කුමක් කියන්න ද? 9කානානිවරුන් හා සෙසු දේශ වාසීන් ඒ ඇසූ කල, අප වට කොට, අපගේ නාමය පොළොවෙන් මකා දමනු ඇත. එවිට ඔබගේ උත්තම නාමය උදෙසා ඔබ කුමක් කරන්නේ දැ?” යි පැවසී ය.
10 ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “නැගිට සිටින්න! මොකද ඔබ මේ වැටී මුහුණ බිම ඔබාගෙන? 11ඉශ්රායෙල් පව් කරල; රක්ෂා කරන්නැයි මා ඔවුනට අණ කළ මගේ ගිවිසුම ඔවුන් කඩ කරල. විනාශයට කැප කළ දේවලින් ඇතැම් දේ ඔවුන් අරගෙන; ඔවුන් සොරකම් කරල; වංචා කරල; තමන්ගේ බඩු අතරට ඒවා දාගෙන. 12එබැවින් ඉශ්රායෙල්වරුන්ට තම සතුරන් ඉදිරියේ සිටගත නො හැකියි; ඔවුන් තම සතුරන් ඉදිරියේ ආපසු හැරිලා. මන්ද ඔවුන් තමන් ම විනාශයට කැප කර ගෙන. ඔබ අතරේ ඇති කැප කළ දෑ විනාශ කර දැමුවොත් මිස මම තවත් ඔබ සමඟ නො සිටින්නෙමි.
13“නැගිටින්න, ජනයා පවිත්ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘හෙට දවස උදෙසා සූදානමින් සිටින පිණිස, නුඹලා ම පවිත්ර වනු; මන්ද ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: එම්බා ඉශ්රායෙල්, විනාශයට කැප කළ දේ නුඹලා අතරේ වෙයි. ඒ කැප කරන ලද දෑ නුඹ වෙතින් ඉවත් කරන තෙක් නුඹලාගේ සතුරන් ඉදිරියේ නුඹලාට නැගී සිටීමට හැකි නො වේ.
14“ ‘එබැවින් හෙට උදෑසන ඔබ ගෝත්රයෙන් ගෝත්රය ඉදිරියට ආ යුතු ය. පස ඇට දැමීමෙන් ස්වාමින්වහන්සේ ගන්නා ගෝත්රය, පියවංශය වශයෙන් ළඟා විය යුතු ය. ස්වාමින්වහන්සේ ගන්නා පියවංශය, පවුල් වශයෙන් ළඟා විය යුතු ය. ස්වාමින්වහන්සේ ගන්නා පවුල, තනි තනි පුද්ගලයා වශයෙන් ළඟා විය යුතු ය. 15විනාශයට කැප කළ දේ සමඟ අසු වූ තැනැත්තා ගින්නෙහි පුලුස්සා දැමිය යුතු ය. ඔහු සමඟ ඔහු සන්තක සියල්ලට ද එසේ කළ යුතු ය. මන්ද ඔහු ස්වාමින්වහන්සේගේ ගිවිසුම කඩකොට, ඉශ්රායෙල්හි නින්දිතකමක් කර ඇතැ’ යි” පැවසූ සේක.
16එබැවින් යෝෂුවා අලුයම් උදයෙන් නැගිට, ඉශ්රායෙල් ගෝත්රයෙන් ගෝත්රය ළං කරවී ය. යූදා ගෝත්රය ගනු ලැබිණ. 17ඉන්පසු ඔහු යූදා පියවංශ ළං කරවී ය. සර්හී පෙළපත ගනු ලැබිණ; ඉන්පසු සර්හී පියවංශය පවුල් වශයෙන් ළං කරවී ය. සබ්දී ගනු ලැබිණ. 18ඉන්පසු ඔහු, සබ්දී පවුල තනි තනි පුද්ගලයා වශයෙන් ළං කරවී ය. එවිට ආකාන් ගනු ලැබී ය. ඔහු යූදා ගෝත්රයේ සෙරාගේ පුත්, සබ්දීගේ පුත්, කර්මීගේ පුත්රයා ය.
19එවිට යෝෂුවා, ආකාන් අමතා, “මගේ පුත්රය, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහිමය දෙන්න. වරද උන්වහන්සේට කියන්න. ඔබ කුමක් කළේදැයි මට කියන්න; එය මගෙන් සඟවන්න එපා” යි පැවසී ය.
20එවිට ආකාන් යෝෂුවාට පිළිතුරු දෙමින්, “එය ඇත්තයි; ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව මා පව් කළා. මා කළේ මෙයයි. 21කොල්ලය අතරේ ෂිනාර් දේශයේ අලංකාර ලෝගුවක් ද රිදී ෂෙකෙල් දෙසීයක් හා ෂෙකෙල් පනහක් බර රන් කූරක් ද දැක, ඒවාට ආශා වී, මා ඒවා ගත්තා. අන්න දැන් ඒවා මගේ කූඩාරම ඇතුළේ පොළොව යට සඟවා තියෙනවා. ඊට යටින් රිදී ඇතැ” යි පැවසී ය.
22එබැවින් යෝෂුවා පණිවුඩකරුවන් යැවී ය. ඔවුහු කූඩාරම වෙත දිව ගියහ. මෙන්න! ඒවා එහි තිබිණි. ඒවා ඔහුගේ කූඩාරම තුළ සඟවා තිබිණි. ඊට යටින් රිදී තිබිණි. 23ඔවුහු කූඩාරමෙන් ඒවා රැගෙන, යෝෂුවා හා සියලු ඉශ්රායෙල්වරුන් වෙත ගෙනවුත්, ස්වාමින්වහන්සේ අබියස ඒවා අතුළෝ ය.
24එවිට යෝෂුවා, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ, සෙරාගේ පුත් ආකාන් ද රිදී හා ලෝගුව ද රන් කූර ද ඔහුගේ පුතුන් හා දූවරුන් ද ඔහුගේ ගව, බූරු හා බැටළු යන සතුන් ද ඔහුගේ කූඩාරම ද ඔහු සන්තක සියල්ල ද ගත්තේ ය. ඔවුහු ආකොර් මිටියාවත වෙත ඔවුන් ගෙන ගියහ. 25යෝෂුවා කතා කොට, “ඇයි නුඹ අප පිට මේ විපත්තිය ගෙනාවේ? අද දවසේ ස්වාමින්වහන්සේ නුඹ පිටට විපත්තිය ගෙනෙන සේකැ” යි පැවසී ය.
එවිට මුළු ඉශ්රායෙල් ඔහුට ගල් ගැසූහ. ඉන්පසු ඔවුහු සෙසු අයට ද ගල් ගසා, ඔවුන් පුලුස්සා දැමූහ. 26තවද ඔවුහු අද දක්වාත් තිබෙන පරිදි විශාල ගල් ගොඩක් ඔහු මත ගොඩ ගැසූහ. ඉන් අනතුරුව ස්වාමින්වහන්සේ තම දැවෙන කෝපයෙන් ඉවත හැරුණු සේක. එබැවින් එම ස්ථානය අද දක්වා ආකොර්#7:26 ආකොර් එනම් විපත්තිය මිටියාවත නමින් හැඳින්වෙයි.
موجودہ انتخاب:
යෝෂුවා 7: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.