යෝෂුවා 3

3
යොර්දාන් ගඟ තරණය
1යෝෂුවා අලුයම් උදයෙන් නැගිට, මුළු ඉශ්‍රායෙල් ජනයා සමඟ ෂිට්ටීම් වෙතින් පිටත් ව, යොර්දාන් වෙත පැමිණ, එතෙර වීමට පළමුවෙන්, ඔවුහු එහි කඳවුරු ගැසූහ. 2දවස් තුනකට පසු, නිලධාරීහු කඳවුර පුරා ඇවිද ගොස්, 3ජනයාට නියෝග කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව, ලෙවීවර පූජකයින් උසුලාගෙන යනවා ඔබ දකින විගස, ඔබ සිටිනා තැන්වලින් මෑත් ව, ඒ පසුපසින් ගමන් කළ යුතු ය. 4එහෙත් ඔබත්, එයත් අතර රියන්#3:4 රියනක් අඟල් 18ක් හෝ සෙන්ටිමීටර 45ක් පමණ වේ. දෙදහසක පරතරයක් තිබිය යුතු ය. ඊට ළං නො විය යුතු ය; මින් පෙර කිසි දින ඔබ මේ මාර්ගයේ ගොස් නැති බැවින්, ඔබ යා යුතු මාර්ගය එය ඔබට පෙන්වනවා ඇතැ” යි කීහ.
5යෝෂුවා ජනයා අමතමින්, “ඔබ ම පවිත්‍ර කර ගන්න; මන්ද ස්වාමින්වහන්සේ හෙට දවසේ ඔබ අතරේ විස්මිත දෑ සිදු කරන සේකැ” යි පැවසී ය.
6යෝෂුවා පූජකයින්ට කතා කොට, “ගිවිසුම් කරඬුව රැගෙන, ජනතාවට පෙරටුවෙන් ඉදිරියට යන්නැ” යි පැවසී ය. එබැවින් ඔවුහු එය උසුලාගෙන, ඔවුනට පෙරටුවෙන් ගියහ.
7 ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “අද දවසේ මම සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවේ ඔබ උසස් කරන්නට පටන් ගනිමි. මා මෝසෙස් සමඟ සිටි පරිදි, ඔබ සමඟ ද සිටින වග එසේ ඔවුන් දැනගන්නවා ඇත. 8දැන් නුඹ, ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකයින්ට අණ කරමින්, ‘ඔබ යොර්දාන් ජල තීරයට පැමිණි කල, නො සැලී ගඟේ සිටගන්න’ කියා කියන්නැ” යි පැවසූ සේක.
9යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ට කතා කොට, “මෙහි එන්න; ඇවිත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ වචනවලට සවන් දෙන්න. 10ජීවමාන දෙවියන්වහන්සේ ඔබ අතර සිටින වගත්, කානානිවරුන්, හිත්තිවරුන්, හිවීවරුන්, පෙරිස්සිවරුන්, ගිර්ගාෂිවරුන්, අමෝරිවරුන් හා යෙබූසිවරුන් උන්වහන්සේ නිසැකයෙන් ම ඔබ ඉදිරියෙන් පන්නා දමන වගත් ඔබ දැනගන්නේ මෙලෙසිනි; 11ඔන්න! මුළු පොළොවේ ස්වාමියාණන්ගේ ගිවිසුම් කරඬුව ඔබට පෙරටුවෙන් යොර්දානයට බසින්නට යයි. 12දැන්, එක් ගෝත්‍රයකින් එක් මිනිසකු බැගින් ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් දොළොස් දෙනකු තෝරා ගන්න. 13මුළු පොළොවේ ස්වාමියාණන් වන ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලාගෙන යන පූජකයින් යොර්දාන් ජලයට පය ගැසූ සැණින්, ඉස්මත්තේ සිට ආ යොර්දාන් ජලය ගැලීමෙන් බෙදී, ඉහළ සිට පහළට ආ ජලය තනි ගොඩක් ව නැගී සිටිනු ඇතැ” යි පැවසී ය.
14එබැවින් ජනයා යොර්දානයෙන් එතෙර වන්නට කඳවුර හැර ආ කල, ගිවිසුම් කරඬුව උසුලා යන පූජකයෝ ඔවුන්ට පෙරටුවෙන් වූහ. 15අස්වනු නෙළන මෙම මුළු කාලය පුරාවට යොර්දානය ගං වතුර ගලන තත්වයේ තිබිණි. එහෙත් කරඬුව රැගත් පූජකයින් යොර්දානයට ළඟා වී, ජල තීරුවට පා එබූ සැණින්, 16ගං ඉස්මත්තේ සිට ආ ජලය ගලා යෑම නැවතිණි. ඒ ජලය සාරෙතාන් කිට්ටුව අදාම් නගරය දක්වා බොහෝ දුරක් කන්දක් මෙන් ගොඩ ගැසිණි. අරාබා මුහුද හෙවත් ලුණු මුහුද#3:16 ලුණු මුහුද හෙවත් මළ මුහුද දෙසට පහළට ගැලූ ජලය තීන්දුවට ම වෙන් ව ගියේ ය. එබැවින් ජනයා යෙරිකෝවට ඉදිරිපිටින් එතෙර වූහ. 17මුළු ඉශ්‍රායෙල් ජනයා, මුළු ජාතිය ම, දිය සීරාවෙන් තොර වියළි බිම පිට යොර්දානයෙන් එගොඩ වන අතරේ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලා සිටි පූජකයෝ යොර්දාන් ගඟ මැද වියළි බිමේ ස්ථිර ව සිටගෙන සිටියහ.

موجودہ انتخاب:

යෝෂුවා 3: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in