විනිසුරුවෝ 8

8
සෙබා හා සල්මුන්නා
1ඉන්පසු එප්‍රායිම් ජනයා, ඔහු අමතමින්, “මොකක් ද මේ නුඹ අපට කළේ? මිදියන්වරුන්ට එරෙහිව සටනට යද්දී අප කැඳවූයේ නැත්තේ ඇයි?” දැයි අසමින්, ඔහුට සැරෙන් දොස් පැවරූහ.
2එහෙත් ඔහු, ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ කළ දෑ හා සසඳන විට මා කර ඇත්තේ මොනවා ද? එප්‍රායිම් ඇහිඳ ගත් මිදි පල, අබියෙසෙර්ගේ මුළු මිදි අස්වැන්නටත් වඩා අගෙයි නො වේ ද? 3දෙවියන්වහන්සේ මිදියන් නායකයින් වන ඔරේබ් හා ‍සෙයේබ් ඔබේ අත්වලට දී ඇත. ඔබ හා සසඳන කල, මට කළ හැකි වූයේ මොනවා දැ?” යි කීවේ ය. ඔහු එසේ කී කල, ඔහුට එරෙහිව තිබූ ඔවුන්ගේ කෝපය සංසිඳිණි.
4ගිඩියොන් හා ඔහුගේ මිනිසුන් තුන්සිය දෙනා දැඩි වෙහෙසට පත් ව සිටි නමුදු, දිගට ම ලුහුබඳිමින්, යොර්දාන් වෙත අවුත්, එයින් එතෙර වූහ. 5ඔහු සුක්කොත්හි මිනිසුන්ට කතා කොට, “මා අනුව ආ මිනිසුන්ට කරුණාකර රොටි දෙන්න. ඔවුන් වෙහෙසට පත් වෙලා. මම තවමත් මිදියන් රජුන් වන සෙබා හා සල්මුන්නා ලුහුබැඳ යමින් සිටිමි” යි කීවේ ය.
6එහෙත් සුක්කොත් නිලධාරීහු උත්තර දෙමින්, “ඔබේ සේනාවට අප විසින් කෑම සපයන්නට, කෝ! සෙබා හා සල්මුන්නාගේ අත් ඔබේ අතට අසු වෙලා දැ?” යි ඇසූහ.
7ගිඩියොන් ඊට පිළිතුරු දෙමින්, “හොඳයි එහෙනම්! ස්වාමින්වහන්සේ සෙබාත්, සල්මුන්නාත් මගේ අතට හසුකළ විට, මම වනයේ කටු හා ගොකටුවලින් නුඹලාගේ සිරුරු ඉරා දමන්නෙමි” යි පැවසී ය.
8ඔහු එතැනින් පිටත් ව, පෙනූවෙල් වෙත ගොස්, ඔවුන්ගෙන් ද එපරිදි ම ඉල්ලී ය. එහෙත්, පෙනූවෙල් වාසීන් ද ඔහුට දුන්නේ සුක්කොත්වාසීන් දුන් උත්තරය ම ය. 9එබැවින් පෙනූවෙල් වාසීන් ඇමතූ ගිඩියොන්, “මම ජයග්‍රාහී ව ආපසු එන කල, මෙම බළකොටුව බිඳ හෙළන්නෙමි” යි පැවසී ය.
10මේ අතර සෙබා හා සල්මුන්නා පහළොස් දහසක ඔවුන්ගේ සේනාව ද සමඟ කර්කොර්හි සිටියහ. පෙරදිගවාසී හමුදා වෙත ඉතිරි ව සිටියෝ ඔවුහු ය; අසිපත් දැරූ එකසිය විසිදහසක් වැටී ගොස් සිටියහ. 11නොබා හා යොග්බොහාට නැගෙනහිරින් කූඩාරම්වාසීන්ගේ මාවත ඔස්සේ ගිය ගිඩියොන්, අපරීක්ෂාකාරී ව සිටි හමුදාවට පහර දුන්නේ ය. 12සෙබා ද සල්මුන්නා ද පලා ගියහ. එහෙත් ඔවුන් ලුහුබැඳි ඔහු, සෙබා හා සල්මුන්නා යන මිදියන් රජුන් දෙදෙනා අල්ලාගෙන, ඔවුන්ගේ මුළු සේනාව සංත්‍රාසයට පත් කළේ ය.
13ඉන්පසු යෝවාෂ්ගේ පුත් ගිඩියොන් යුද්ධය අවසානයේ හෙරෙස් නැග්ම ඔස්සේ ආයේ ය. 14ඔහු සුක්කොත් තරුණයකු අල්ලා, ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වන්නේ ය. එවිට ඔහු සුක්කොත් අධිපතීන් හා ප්‍රජා මූලිකයින් හැත්තෑහත් දෙනකුගේ නාම ඔහුට ලියා දුන්නේ ය. 15ඉන්පසු ගිඩියොන් අවුත්, සුක්කොත් මිනිසුන්ට හඬ ගසමින්, “ ‘වෙහෙස ව සිටින නුඹේ මිනිසුන්ට අප විසින් කෑම දෙන්නට, කෝ! සෙබා හා සල්මුන්නාගේ අත් ඔබේ අතට හසු වෙලා දැ?’ යි නුඹලා මට ගර්හා කළ මුන් මෙන්නැ” යි කීවේ ය. 16ඔහු එපුර ප්‍රජා මූලිකයින් අල්ලා, වනයේ කටු හා ගොකටුවලින් ඔවුන්ට දඬුවම් කරමින්, සුක්කොත් ජනයාට පාඩමක් උගැන්වී ය. 17ඔහු පෙනූවෙල් බළකොටුව ද බිඳ හෙළා, එපුර මිනිසුන් මරා දැමී ය.
18ඉන්පසු සෙබා හා සල්මුන්නා ඇමතූ ඔහු, “තාබෝර්හි දී නුඹලා මරා දැමුවේ කොයි විදියේ මිනිසුන්දැ?” යි ඇසී ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “ඔවුන් ඔබ වගේ ය. හැම කෙනකු ම පෙනුමෙන් රජ කුමරුන් වැනි යැ” යි කීහ.
19ගිඩියොන් පිළිතුරු දෙමින්, “ඒ, මගේ සහෝදරයෝ; මගේ මවගේ පුත්තු. නුඹලා ඔවුන්ට ජීවත් වන්නට ඉඩ හැර තිබුණා නම්, ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම මාත්, නුඹලා නො මරන්නට තිබුණා” යි කී ය. 20ඉන්පසු තම කුලුඳුලා වන යෙතෙර් අමතා, “නැගිට, මුන් මරනු!” යි කී ය. එහෙත් තරුණයා තම අසිපත ඇද්දේ නැත. තවමත් තරුණයකු වූ බැවින් ඔහු ඊට භය විය.
21එවිට සෙබා හා සල්මුන්නා කතා කරමින්, “ඔබ ම නැගිට, අපට පහර දෙන්න. මන්ද, මිනිසා කෙබඳු ද ඔහුගේ ශක්තියත් එබඳු යැ” යි කීහ. එබැවින් ගිඩියොන් නැගිට, ඔවුන් මැරී ය. ඔවුන්ගේ ඔටුවන්ගේ ගෙලෙහි වූ අඩ සඳ අබරණ ද ඔහු ගත්තේ ය.
ගිඩියොන්ගේ ඒපොද් සැට්ටය
22එකල ඉශ්‍රායෙල්වරු ගිඩියොන්ට කතා කොට, “අපගේ පාලකයා වන්න; ඔබත්, ඔබේ පුත්‍රයාත්, ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාත්. මන්ද මිදියන්වරුන් අතින් අප ගැලවූයේ ඔබ යැ” යි කීහ.
23එහෙත්, ගිඩියොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “මම නුඹලා පාලනය නො කරමි. මගේ පුතාත් නුඹලා පාලනය නො කරනු ඇත. ස්වාමින්වහන්සේ ම නුඹලා පාලනය කරන සේකැ” යි කීවේ ය. 24ඔහු තවදුරටත් කතා කරමින්, “මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි. හැම කෙනකු ම තම තමාගේ කොල්ලයේ පංගුවෙන් අරුංගලය බැගින් මට දෙන්නැ” යි කීවේ ය. (මන්ද සතුරනට රත්රං අරුංගල් තිබිණි. මන්ද ඔවුන් ඉෂ්මායෙල්වරුන් ය.)
25“කැමැත්තෙන් ම අපි ඒවා දෙන්නෙමු” යි කී ඔවුහු රෙදි කඩක් එලූහ. එවිට එක් එක්කෙනා තම තමාගේ කොල්ලයෙන් අරුංගලය බැගින් එහි දැමූහ. 26ඔහුගේ ඉල්ලීම පරිදි ලද රන් අරුංගල්වල බර ෂෙකෙල් එක්දහස් හත්සියයකි#8:26 කිලෝග්‍රෑම් 20ක් පමණ. ඒ හැර අඩ සඳ අබරණ හා මාල පෙති ද මිදියන් රජුන් හැඳි රාජවර්ණ ඇඳුම් ද ඔවුන්ගේ ඔටුවන්ගේ ගෙල බැඳි රන් දම් ද එහි විය. 27ගිඩියොන් එම රන්වලින් ඒපොද් සැට්ටයක් සාදවා, එය ඔහුගේ නගරය වන ඔෆ්‍රාහි පිහිටුවී ය. එහිදී සියලු ඉශ්‍රායෙල්වරු ඊට නමස්කාර කිරීමේ වේශ්‍යාකමෙහි යෙදුණහ. ගිඩියොන්ට හා ඔහුගේ පවුලට එය මලපතක් බවට පත් විය.
ගිඩියොන්ගේ මරණය
28මෙසේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ යටත් කරනු ලැබූ මිදියන්වරුන් යළි තම හිස එසවූයේ නැත. ගිඩියොන්ගේ දවස්හි දී දේශය හතළිස් වසරක් සාමය පැවැත්තේ ය.
29යෝවාෂ්ගේ පුත් යෙරුබ්බාල් වාසය පිණිස තම නිවසට ගියේ ය. 30ගිඩියොන්ට භාර්යාවන් බොහෝ දෙනකු වූ බැවින් ඔහුට දාව පුත්තු හැත්තෑ දෙනෙක් වූහ. 31ෂෙකෙම්හි විසූ ඔහුගේ අතිරේක බිරිඳ ද ඔහුට පුතකු බිහි කර දුන්නා ය. ඔහු අබිමෙලෙක් යනුවෙන් ඔහුට නම් තැබී ය. 32යෝවාෂ්ගේ පුත් ගිඩියොන් හොඳ මහලු වයසේ මියැදුණේ ය. අබියෙස්රීය පෙළපතට අයත් ඔෆ්‍රාහි ඔහුගේ පියාගේ සොහොනේ ඔහු භූමදාන කෙරිණ.
33ගිඩියොන් මියැදී නොබෝ කලකින් ඉශ්‍රායෙල් ජනයා බාල් දෙවියා නැමදීමේ වේශ්‍යාකමට යළි වැටුණහ. ඔවුහු බාල්-බෙරීත් තම දෙවියා කොට පිහිටුවා ගත්හ. 34හැම පැත්තෙන් ම වූ ඔවුන්ගේ සියලු සතුරන් අතින් ඔවුන් මිදූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුහු සිහිපත් නො කළහ. 35තවද, ඉශ්‍රායෙල්ට හැම අයුරින් සෙත සැලසූ ගිඩියොන් හෙවත් යෙරුබ්බාල්ගේ පවුලට කරුණාව පෑමට ද ඔවුහු අපොහොසත් වූහ.

موجودہ انتخاب:

විනිසුරුවෝ 8: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in