විනිසුරුවෝ 17
17
මීකා හා ලෙවීයයා
1එප්‍රායිම් කඳු රටේ මීකා නම් වූ මිනිසෙක් සිටියේ ය. 2ඔහු තම මව අමතමින්, “ඔබගෙන් රිදී කැබලි එක්දහස් එකසියය සොරාගනු ලැබ, මගේ කනට ඇසෙන්නට ඔබ ශාපයක් පැවසුවා. ඔන්න! ඒ රිදී මා ළඟයි. ඒවා ගත්තේ මම” යි කීවේ ය.
එවිට ඔහුගේ මව, “ස්වාමින්වහන්සේ මගේ පුතුට ආශිර්වාද කරන සේක්වා!” යි කීවා ය.
3එවිට එම රිදී කැබලි එක්දහස් එකසියය, ඔහු තම මවට ආපසු දුන්නේ ය. එවිට ඈ, “කැටයම් පිළිමයක් ද වාත්තු රූපයක් ද සාදන පිණිස, ඒ රිදී මගේ පුත්‍රයා වෙනුවෙන් මගේ අතින් මම ස්වාමින්වහන්සේට කැප කළෙමි. එනිසා දැන් ඒවා නුඹට මම දෙන්නෙමි” යි කීවා ය.
4මෙසේ ඔහු රිදී කැබලි තම මවට ආපසු දුන් කල, ඈ එයින් කැබලි දෙසියයක් ගෙන, රිදීකරුවකුට දුන්නා ය. ඔහු ඉන් කැටයම් පිළිමයක් ද වාත්තු රූපයක් ද සෑදී ය. එය මීකාගේ නිවසේ තබනු ලැබිණ.
5මීකා නම් මෙම මිනිසාට දෙවොලක් තිබුණේ ය. ඒපොද් සැට්ටයක් ද ගෘහ දේව පිළිම ද තනා ගත් ඔහු, තම පූජකයා කොට තම පුතකු සිටුවී ය. 6එදවස්හි ඉශ්‍රායෙල්හි රජකු සිටියේ නැත. හැම කෙනෙක් ම කළේ තම තමාට හරි යැයි පෙනුණු දේ ය.
7මේ අතර යූදා පෙළපත මධ්‍යයේ වාසය කළ යූදාහි බෙත්ලෙහෙමේ ලෙවී වංශික තරුණයෙක් සිටියේ ය. 8හමුවන වෙනත් තැනක පදිංචි වීමට සොයමින්, ඔහු යූදාවේ බෙත්ලෙහෙම් පුරයෙන් නික්මුණේ ය. ඔහු එසේ ගමන් ගනිමින්, එප්‍රායිම් කඳු රටේ මීකාගේ නිවසට පැමිණියේ ය.
9මීකා ඔහු අමතමින්, “ඔබ කොහි සිට එන්නේ දැ?” යි ඇසී ය.
ඔහු පිළිතුරු දෙමින්, “මම යුදයේ බෙත්ලෙහෙමේ ලෙවී වංශිකයෙක්මි; පදිංචියට තැනක් බලමින් යන්නෙමි” යි කීවේ ය.
10එවිට මීකා ඔහු අමතමින්, “මා සමඟ නැවතී, මට පියකු ද පූජකයකු ද වන්න. මම ඔබට අවුරුදු පතා රිදී කැබලි දහයක් ද ඇඳුම් කට්ටලයක් හා ඔබේ දිවි පැවැත්ම ද සලසන්නෙමි” යි කීවේ ය. 11එබැවින් ඔහු සමඟ විසීමට ලෙවීයයා එකඟ විය. එම තරුණයා, ඒ මිනිසාට ඔහුගේ පුතුන්ගෙන් කෙනකු මෙන් විය. 12මීකා එම ලෙවී වංශිකයා පත් කර ගත්තේ ය. තරුණයා ඔහුගේ පූජකයා බවට පත් ව, මීකාගේ නිවසේ ම වාසය කළේ ය. 13එවිට මීකා, “මෙම ලෙවීයයා මගේ පූජකයා බවට පත් වූ බැවින් ස්වාමින්වහන්සේ මා සඵල කරන වග මම දැන් දනිමි” යි කීවේ ය.
موجودہ انتخاب:
විනිසුරුවෝ 17: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.