උත්පත්ති 50
50
1එවිට යෝසෙප්, තම පියා පිට වැටී, වැලපෙමින්, ඔහු සිප ගත්තේ ය. 2ඉන්පසු යෝසෙප් තම සේවයේ නියුතු වෙදුන් කැඳවා, තම පියාණන් වූ ඉශ්‍රායෙල් බෙහෙත් ගල්වන ලෙස නියෝග කළේ ය. එබැවින් වෙද්දු ඔහුට බෙහෙත් ගැල්වූහ. 3ඒ සඳහා පූර්ණ දවස් හතළිහක් ගත විය. මන්ද මිනියක් බෙහෙත් ගැල්වීමට එපමණ කලක් අවැසි විණ. ඊජිප්තුවරු ඔහු උදෙසා හැත්තෑ දවසක් ශෝක වූහ.
4ශෝක දවස් ගෙවුණු පසු, පාරාවෝගේ මන්දිර වාසීන් ඇමතූ යෝසෙප්, “නුඹලා මා කෙරේ ප්‍රසන්න නම්, මා උදෙසා පාරාවෝට කතා කොට මෙසේ කියන්න. 5‘මගේ පියා මගෙන් දිවුරුම් ගනිමින්, “මා මැරෙන්නට ළඟයි. කානාන් දේශයේ මා උදෙසා මා විසින් ම කණින ලද සොහොනෙහි මා වළලන්නැ” යි කීවා. එබැවින් දැන් එහි ගොස්, මගේ පියා භූමදාන කරන්නට ඉඩ හරින්න. ඉන්පසු මම ආපසු එන්නෙමි’ ” යි පැවසී ය.
6පාරාවෝ පිළිතුරු දෙමින්, “යන්න; ඔබේ පියා ඔබෙන් දිවුරුම් ගත් පරිදි ගොස්, ඔබේ පියා භූමදාන කරන්නැ” යි කීවේ ය.
7එබැවින් යෝසෙප් තම පියා භූමදාන කරන්නට පිටත් විය. පාරාවෝගේ මන්දිරයේ ජ්‍යෙෂ්ඨයින් ද ඊජිප්තුවේ සියලු උත්තමයින් ද යන පාරාවෝගේ සියලු නිලධාරීහු ඔහු සමඟ ගියහ. 8තවද යෝසෙප්ගේ ගෘහවාසී සැවොම ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලට අයත් වූවෝ ද ගියහ. ගෝෂෙන් පෙදෙසේ නවත්වන ලද්දේ ඔවුන්ගේ කුඩා දරුවන් හා එළු බැටළු හා ගව රංචු පමණි. 9අස්රිය හා අසරුවෝ ද ඔහු හා ගියහ. එහි අති මහත් පිරිසක් වූහ.
10යොර්දානෙන් එගොඩ ආතාද් කමත වෙත ළඟා වූ කල්හි ඔවුහු, මහ හඬින් ද දැඩි සොවින් ද වැලපුණහ. යෝසෙප් එහිදී තම පියා උදෙසා හත් දවසක ශෝක කාලයක් පැවැත්වී ය. 11ආතාද් කමතේ පැවති වැලපීම දුටු එපෙදෙසේ විසූ කානානිවරු කතා කොට, “ඊජිප්තුවරු මහත් ශෝක අවස්ථාවක් පවත්වති” යි කීහ. යොර්දානයෙන් එගොඩ එම ස්ථානය ආබෙල් මිස්රයිම් නමින් හැඳින්වෙන්නේ එබැවිනි.
12මෙසේ, යාකොබ් තම පුතුන්ට අණ කර තිබූ පරිදි ඔවුහු කළහ. 13ඔවුහු කානාන් දේශයට ඔහු ගෙන ගොස්, මම්රේ අසල මක්පේලා ඉඩමේ වූ ගුහාවේ ඔහු තැන්පත් කළහ. එය ආබ්‍රහම් විසින් හිත්තීය එෆ්‍රොන්ගෙන් සොහොන් පොළක් වශයෙන් මිලයට ගන්නා ලද ඉඩමෙහි විය. 14තම පියා වළ දැමූ පසු, යෝසෙප් තම සහෝදරයින් ද ඔහුගේ පියා වැළලීමට ඔහු සමඟ ගිය සියල්ලන් ද කැටිව ඊජිප්තුවට ආපසු ආවේ ය.
යෝසෙප් හා සහෝදරයෝ
15යෝසෙප්ගේ සහෝදරයෝ තම පියා මිය ගිය වග දුටු කල, “යෝසෙප් අප හා වෛර බඳිමින්, අප ඔහුට කළ සියලු වැරදිවලට අපෙන් පළිගත හැකි යැ” යි පැවසූහ. 16එබැවින් ඔවුහු යෝසෙප් වෙත පණිවුඩයක් යවමින්, “ඔබේ පියා මිය යන්නට කලින් මෙසේ උපදෙස් දී ඇත. 17එනම්: ‘නුඹලා යෝසෙප්ට මෙසේ කිය යුතුයි; ඔබගේ සහෝදරයින්ගේ පාපයත්, ඔබට නපුර කරමින්, ඔවුන් කළ වරදත් ගැන ඔවුන්ට කමා වන මෙන් ඔබෙන් ඉල්ලමි!’ යන්නයි. එබැවින් කරුණා පා, දැන් ඔබේ පියාගේ දෙවියන්වහන්සේගේ සේවකයින්ගේ පාපයට කමාවන්නැ” යි කීහ. එම පණිවුඩය යෝසෙප් වෙත ආ කල, ඔහු හඬන්නට වන්නේ ය.
18එවිට ඔහුගේ සහෝදරයෝ ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියේ බිම වැටී, “මෙන්න, අපි ඔබගේ දාසයින්” යයි කීවෝ ය.
19එහෙත් යෝසෙප් ඔවුන් අමතමින්, “භය වෙන්න එපා; දෙවියන්වහන්සේගේ තැන ගන්නට මට පුළුවනි ද? 20මට නපුරක් කරන්නට නුඹලා අදහස් කළත්, දෙවියන්වහන්සේ ජීවිත බොහොමයක් ගලවමින්, දැන් සිදු වී ඇති පරිදි, එය යහපතට අදහස් කළ සේක. 21එබැවින් භය වෙන්න එපා. මා නුඹලාත්, නුඹලාගේ දරුවනුත් නඩත්තු කරනවා” යි කීවේ ය. මෙසේ ඔහු කාරුණික ව ඔවුන්ට කතා කරමින්, ඔවුන් සැනසවී ය.
යෝසෙප්ගේ මරණය
22මෙසේ යෝසෙප්, තම පියාගේ පවුලේ අය සමඟ ඊජිප්තුවේ ගත කළේ ය. යෝසෙප් අවුරුදු එකසිය දහයක් වාසය කළේ ය. 23යෝසෙප් තුන් වන පරම්පරාව වන එප්‍රායිම්ගේ දරු මුනුපුරන් ද දිටී ය. තවද මනස්සේගේ පුත් මාකීර්ගේ දරුවන් පවා යෝසෙප්ගේ ම දරුවන් සේ සැලකී ය.
24මෙයින් පසු යෝසෙප් තම සහෝදරයින්ට කතා කොට, “මා මැරෙන්නට ළඟයි. එහෙත් දෙවියන්වහන්සේ නිසැකයෙන් ම ඔබේ පිහිටට අවුත්, මේ දේශයෙන් පිටතට, ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් උන්වහන්සේ දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ගෙන යනු ඇතැ” යි කීවේ ය. 25ඉන්පසු යෝසෙප්, ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන් දිවුරුම් ගනිමින්, “දෙවියන්වහන්සේ නිසැකයෙන් ම ඔබේ පිහිටට එන සේක. එවිට ඔබ, මගේ ඇටකටු මෙහෙන් ගෙන යා යුතු යැ” යි කීවේ ය.
26මෙසේ යෝසෙප් එකසිය දහ වන වියේදී මියැදුණේ ය. ඔහුගේ දේහය බෙහෙත් ගල්වන ලද පසු, ඊජිප්තුවෙහි මිනී පෙට්ටියක තැන්පත් කරන ලදී.
موجودہ انتخاب:
උත්පත්ති 50: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.