උත්පත්ති 32

32
ඒසව් හමුවීමේ සූදානම
1යාකොබ් තම ගමනේ යෙදෙද්දී, දෙවියන්වහන්සේගේ දූතයින් ඔහුට මුණ ගැසිණි. 2යාකොබ් ඔවුන් දුටු විට, “දෙවියන්වහන්සේගේ සේනාව මේ යැ” යි කීවේ ය. එබැවින් ඔහු එම ස්ථානයට මහනයිම්#32:2 මහනයිම් එනම් කඳවුරු දෙක යන නම තැබී ය.
3යාකොබ්, ඒදොම් රට වූ සේයිර් දේශයේ තම සහෝදර ඒසව් වෙත තමාට පෙරටුවෙන් පණිවුඩකරුවන් යැවී ය. 4ඔහු ඔවුනට උපදෙස් දෙමින්, “මගේ ස්වාමියා වන ඒසව් වෙත ගොස්, ඔබ කිව යුත්තේ මෙයයි: ‘ඔබේ සේවක යාකොබ් මෙසේ කියයි: මා ලාබාන් සමඟ වාසය කරමින් මෙතෙක් කල් එහි සිටියා. 5මට ගවයින් ද බූරුවන් ද බැටළුවන් හා එළුවන් ද දැසි දස්සන් ද සිටිනවා. මගේ ස්වාමියා වෙත මේ පණිවුඩය එවන්නේ, ඔබ හමුවෙහි මට ප්‍රසාදය ලැබෙන පිණිස යැ’ ” යි කීවේ ය.
6පණිවුඩකරුවෝ පෙරළා යාකොබ් වෙත අවුත්, “ඔබගේ සහෝදර ඒසව් වෙත අප ගියා. ඔබ හමුවීමට ඔහු එමින් සිටිනවා. ඔහු සමඟ මිනිසුන් හාරසිය දෙනෙක් ද සිටිනවා” යි කීවෝ ය.
7එවිට මහත් භයට ද කැලඹීමට ද පත් යාකොබ්, තමා සමඟ සිටි පිරිස ද එළු බැටළු, ගව රංචු හා ඔටුවන් ද කණ්ඩායම් දෙකකට බෙදී ය. 8ඔහු සිතුවේ, “ඒසව් අවුත්, එක් කණ්ඩායමකට පහර දුන්නහොත්, ඉතිරි අනෙක් කණ්ඩායමට බේරී යා හැකි ය” කියා ය.
9ඉන්පසු යාකොබ් කතා කරමින්, “මගේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, මගේ පියා වූ ඊසාක්ගේ දෙවියන්වහන්ස, අහෝ ස්වාමින්වහන්ස, ‘ඔබේ රටටත්, ඔබේ නෑයින් වෙතටත් ආපසු යන්න. මම, ඔබ සඵල වන්නට සලස්සමි’ යි මට කී තැනැන්වහන්ස, 10ඔබේ සේවකයාට ඔබවහන්සේ පෑ මුළු දයා-ප්‍රේමයත්, මුළු විශ්වාසවන්තකමත් ලබන්නට මා සුදුස්සෙක් නො වේ. මන්ද මේ යොර්දානයෙන් මෙතෙර වෙද්දී මා වෙත වූයේ මගේ සැරයටිය පමණි. එහෙත් දැන් මම කණ්ඩායම් දෙකක් ව සිටිමි. 11මා අයැද සිටින්නේ මගේ සොහොයුරා අතින්, ඒසව් අතින්, මා මුදන ලෙසටයි. මන්ද ඔහු අවුත් මටත්, මේ මවුවරුන්ටත්, ඔවුන් සමඟ සිටින දරුවන්ටත් පහර දෙතියි මම ඔහුට භය වෙමි. 12එසේ වුව ද ඔබවහන්සේ, ‘මම සැබවින් ම ඔබ සඵල කරන්නෙමි. ඔබේ දරු පරපුර මුහුදේ වැලි මෙන් ගැණිය නො හැකි වන්නට සලස්වන්නෙමි’ කියා ඇතැ” යි පැවසී ය.
13ඔහු රාත්‍රිය එහි ගත කළේ ය. තමා වෙත වූ දෙයින් ඔහු තම සොයුරු ඒසව්ට තෑග්ගක් තෝරා ගත්තේ ය. 14එළු දෙනුන් දෙසීයක් හා එළුවන් විස්සක් ද බැටළු දෙනුන් දෙසීයක් හා බැටළුවන් විස්සක් ද 15කිරි-ඔටු දෙනුන් තිහක් හා උන්ගේ පැටවුන් ද එළදෙනුන් හතළිහක් හා ගොන් වස්සන් දහයක් ද බූරු දෙනුන් විස්සක් හා බූරුවන් දහයක් ද තේරූ ඔහු, 16එම රංචු වෙන් වෙන් වශයෙන් තම සේවකයින්ට බාර කොට, “රංචු අතර පරතරයක් ඇති ව, මට පෙරටුවෙන් යන්නැ” යි කීවේ ය.
17පළමුවැන්නාට ඔහු උපදෙස් දෙමින්, “මගේ සහෝදර ඒසව් ඔබට මුණ ගැසී, ‘නුඹේ හාම්පුතා කවරෙක් ද? නුඹ යන්නේ කොහේ ද? නුඹට පෙරටුව යන මේ සතුන් අයිති කවරකුට දැ?’ යි ඇසූ කල, 18ඔබ පිළිතුරු දෙමින්, ‘මුන් අයිති ඔබේ සේවක යාකොබ්ට ය. මේවා මගේ ස්වාමි ඒසව් වෙත එවන ලද තෑග්ගකි. අප පසුපසින් ඔහු එන්නේ ය’ කියා කිය යුතු” යි කීවේ ය.
19තවද ඔහු සත්ව රංචු පසු පස ගිය දෙවැන්නාට ද තෙවැන්නාට ද සෙස්සනට ද උපදෙස් දෙමින්, “නුඹලාට ඒසව් මුණ ගැසුණු කල, නුඹලාත් එය ම කිය යුතුයි. 20‘අන්න, ඔබේ සේවක යාකොබ්, අපට පසුපසින් එනවා කියන්නට වග බලා ගත යුතු යැ’ යි” ද කීවේ ය. මන්ද, “මෙසේ පෙරටුවෙන් යවන තෑගි මගින් ඔහු සමඟි කර ගන්නෙමි. ඉන්පසු මා දුටු කල ඇතැම් විට ඔහු මා පිළිගනු ඇතැ” යි ඔහු සිතූ බැවිනි. 21මෙසේ යාකොබ්ගේ ත්‍යාග ඔහුට පෙරටුවෙන් යැවිණ. එහෙත් ඔහු රාත්‍රිය ගත කළේ කඳවුර තුළ ය.
යාකොබ්, දෙවියන්වහන්සේ සමඟ පොර බැදීම
22ඒ රැයේ නැගුටුණු යාකොබ් තම බිරින්දෑවරුන් දෙදෙනා ද තම සේවිකාවන් දෙදෙනා ද තම පුතුන් එකොළොස් දෙනා ද කැටිව, යබ්බොක් තොටින් එතෙර වූයේ ය. 23ඔහු ඇළෙන් එගොඩට ඔවුන් යවා, තමා සතු ව තිබූ සියල්ල ද එතෙර කරවී ය. 24මෙසේ යාකොබ් හුදකලා විය. එවිට මනුෂ්‍යයෙක් පහන් වන තෙක් ඔහු සමඟ පොර බැදී ය. 25තමාට ඔහු පැරදවිය නො හැකි වග දුටු ඒ තැනැත්තා, යාකොබ්ගේ උකුල් සන්ධියට ගැසී ය. එවිට ඒ තැනැත්තා සමඟ පොරබදද්දී ඔහුගේ උකුල් ඇටය පැන්නේ ය. 26එවිට ඒ මනුෂ්‍යයා, “එළි වේගෙන එන නිසා මට යන්නට දෙන්නැ” යි පැවසී ය.
එහෙත් යාකොබ්, “ඔබ මට ආශිර්වාද කරන තෙක්, මා ඔබට යන්නට දෙන්නේ නැහැ” යි කීවේ ය.
27එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ?” යි ඇසී ය.
“යාකොබ්” යැයි ඔහු පිළිතුරු දුන්නේ ය.
28එවිට ඔහු කතා කරමින්, “මින් මතු ඔබේ නම යාකොබ් නො වේ, ඉශ්‍රායෙල්#32:28 ඉශ්‍රායෙල් එනම් දෙවියන්වහන්සේ සමඟ පොරබදන්නා ය. මන්ද දෙවියන්වහන්සේ සමඟත්, මිනිසුන් සමඟත් ඔබ පොර බදා ජය ගෙන ඇතැ” යි කීවේ ය.
29යාකොබ් ඔහු අමතමින්, “අනේ මට ඔබේ නම කියන්නැ” යි ඉල්ලී ය.
එහෙත්, “ඔබ මගේ නම විචාරන්නේ මන්දැ?” යි පැවසූ ඔහු, ඉන්පසු එහිදී යාකොබ්ට ආශිර්වාද කළේ ය.
30එබැවින් යාකොබ්, “මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටුවෙමි. එහෙත්, මගේ ජීවිතය ඉතිරි විණැ” යි කියමින් ඒ ස්ථානයට පෙනීයෙල්#32:30 පෙනීයෙල් එනම් දෙවියන්වහන්සේගේ මුහුණ යැයි නම් තැබී ය.
31ඔහු පෙනූවෙල් පසු කර යද්දී හිරු උදා විය. උකුල් ඇටයේ අමාරුව නිසා ඔහු ගමන් ගත්තේ කොර ගසමිනි. 32මේ හේතුව නිසා අද දවස දක්වාත් ඉශ්‍රායෙල්වරුන් උකුල පිට ඇති බල නහරය අහරට නො ගන්නේ, බල නහරය අසල යාකොබ්ගේ උකුල පෙදෙසට උන්වහන්සේ ගැසූ බැවිනි.

موجودہ انتخاب:

උත්පත්ති 32: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in