උත්පත්ති 3
3
මිනිසාගේ වැටීම
1 ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සාදා තිබූ කවර වන සතකුටත් වඩා සර්පයා ප්රයෝගකාරී විය; ඌ ස්ත්‍රිය අමතමින්, “ ‘උයනේ ඇති කිසි ගසකින් ඔබ නො කෑ යුතු ය’ කියා දෙවියන්වහන්සේ සැබවින් ම කී සේක් දැ?” යි ඇසී ය.
2ස්ත්‍රිය සර්පයාට පිළිතුරු දෙන්නී, “උයනේ ඇති ගස්වල පල කන්නට අපට පුළුවන. 3එහෙත් දෙවියන්වහන්සේ කීවේ, ‘උයන මැද ඇති ගහේ පල ඔබ නො කෑ යුතු ය; එය ස්පර්ශ නො කළ යුතු ය. නැතහොත් ඔබ මිය යනු ඇත’ කියා යැ” යි පැවසුවා ය.
4“සැබවින් ම ඔබ මැරෙන්නේ නැතැ” යි පැවසූ සර්පයා, 5“එයින් කන දවසේ ඔබේ ඇස් ඇරී, හොඳ හා නරක දැනගැනීමෙන් ඔබත් දෙවියන්වහන්සේ හා සමාන වන වග දෙවියන්වහන්සේ දන්නා සේකැ” යි ද පැවසී ය.
6ගහේ පල කෑමට හොඳ බැව් ද ඇසට ප්‍රිය බැව් ද නුවණ ලැබීමට ආශා විය යුතු බැව් ද දුටු ස්ත්‍රිය, එයින් ගෙන කෑවා ය. තමා සමඟ සිටි තම ස්වාමිපුරුෂයාට ද ඈ ඒවා දුන්නා ය; ඔහු ද කෑවේ ය. 7එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් ඇරිණි. තමන්ගේ නග්න බව ඔවුන්ට වැටහිණි. එනිසා අත්තික්කා කොළ එකට මසා ගත් ඔවුහු තමනට ඉණ වැසුම් සාදා ගත්හ.
8දවසේ සිහිල් වේලෙහි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසිණි. එවිට මනුෂ්‍යයාත්, ඔහුගේ භාර්යාවත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වෙතින් උයනේ ගස් අතරේ සැඟවුණහ. 9එහෙත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට කතා කරමින්, “කෝ! ඔබ කොහේ දැ?” යි ඇසූ සේක.
10ඔහු උත්තර දෙමින්, “උයනේදී ඔබවහන්සේගේ හඬ මට ඇසුණා. මා නග්න බැවින් මා භය වුණා; එනිසා මා සැඟවුණා” යි පැවසී ය.
11එවිට උන්වහන්සේ, “ඔබ නග්න යැයි කීවේ කවුරු ද? කන්නට එපා යැයි මා ඔබට කී ගහෙන් කෑවා දැ?” යි ඇසූ සේක.
12මනුෂ්‍යයා පිළිතුරු දෙමින්, “මා සමඟ සිටින්නට ඔබවහන්සේ මට දුන් ස්ත්‍රී, ඒ ගහේ පල මට දුන්නා; මාත් කෑවා” යි කී ය.
13එවිට ස්ත්‍රිය ඇමතූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, “මොකක් ද මේ නුඹ කළේ?” යි පැවසූ සේක.
ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “සර්පයා මා මුළා කළා. මාත් කෑවා” යි කීවා ය.
14එවිට ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සර්පයාට මෙසේ පැවසූ සේක: “තා මේ දේ කළ නිසා,
“ගව-මහීෂාදී සියලු සතුනට ද
සියලු වන සතුනට ද වැඩියෙන්
තා ශාප ලබන්නෙහි ය.
තගේ දිවි ඇති තුරා, තා බඩ ගා යමින්,
දූවිල්ල කනු ඇත.
15තා සහ ස්ත්‍රිය අතර ද
තගේ වංශය හා ඇගේ වංශය අතර ද
මම සතුරුකම තබන්නෙමි.
ඔහු, තගේ හිස පොඩි කරන්නේ ය.
තා, ඔහුගේ විලුඹට පහර දෙනු ඇත.”
16උන්වහන්සේ ස්ත්‍රිය ඇමතූ සේක්,
“ගැබ් දැරීමේ නුඹේ වේදනා, මම බෙහෙවින් වැඩි කරන්නෙමි;
වේදනාවෙන් යුතු ව, නුඹ දරුවන් බිහි කරනු ඇත.
නුඹේ ආශාව, නුඹේ ස්වාමිපුරුෂයා උදෙසා ම වන්නේ ය.
ඔහු, නුඹ පාලනය කරන්නේ යැ” යි පැවසූ සේක.
17උන්වහන්සේ ආදම්ට කතා කොට, “නුඹේ භාර්යාවට නුඹ සවන් දී, ‘එයින් ඔබ නො කෑ යුතු යැ’ යි මා නුඹට අණ කළ ගසින් කෑ බැවින්,
“නුඹ නිසා භූමිය ශාප ලබයි;
දිවි හිමියෙන් වෙහෙස මහන්සි ව,
නුඹ එයින් අහර සපයා ගනියි.
18එය නුඹට කටු ගස් හා වල් පඳුරු උපදවා දෙයි.
නුඹ බැද්දේ පැළෑටි අහරට ගනියි.
19නුඹ ගනු ලැබුවේ භූමියෙන් බැවින්
භූමියට ම නුඹ හැරී යන තෙක්,
නුඹේ ම දහඩිය මහන්සියෙන්
නුඹේ අහර, නුඹ බුදිනු ඇත.
මන්ද නුඹ දූවිල්ල ය;
දූවිල්ලට ම නුඹ හැරී යන්නේ යැ” යි පැවසූ සේක.
20මනුෂ්‍යයා, තම භාර්යාවට ඒව#3:20 ඒව හෙබ්‍රෙව් හව්වා එනම් ජීවමාන යන නම තැබී ය. මන්ද ජීවත් වන සියල්ලන්ගේ මාතාව ඇය ය.
21ආදම් හා ඔහුගේ බිරිඳ සඳහා හම් වස්ත්‍ර සෑදූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, ඒවා ඔවුන්ට හැඳ වූ සේක. 22ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මෙන්න! හොඳ හා නරක දැනගැනීමෙන්, මනුෂ්‍යයා දැන් අපගෙන් කෙනකු හා සමාන බවට පත් ව සිටියි. ඊළඟට ඔහුගේ අත දිගු කොට, ජීවන වෘක්ෂයෙන් ද ගෙන, අනුභව කොට, ඔහු සදහට ම ජීවත් නො විය යුතු යැ” යි පැවසූ සේක. 23එබැවින්, භූමියෙන් ගනු ලැබූ මනුෂ්‍යයා, භූමිය වගා කරනු සඳහා ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් නෙරපා දැමූ සේක. 24එසේ මනුෂ්‍යයා පිට මං කළ පසු, ජීවන වෘක්ෂයට යන මාවත රැකවල්ලමින්, ඒදන් උයනට පෙරදිගින් කෙරුබ්වරුන් ද හැම අතට ම ලෙළ දෙන, ඇවිළෙන කඩුවක් ද උන්වහන්සේ තැබූ සේක.
موجودہ انتخاب:
උත්පත්ති 3: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.