නික්මයාම 33

33
1ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙතැන හැර, ඔබත්, ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ජනයාත් පිටත් වී, මවිසින් ‘ඔබගෙන් පැවත එන්නන්ට දෙන්නෙමි’ යි කියමින්, ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද මා දිවුරා පොරොන්දු වූ දේශයට යන්න. 2මම ඔබට පෙරටුවෙන් දූතයකු යවමින්, කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තිවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් හා යෙබූසිවරුන් පන්නා දමන්නෙමි. 3කිරි හා පැණි ගලා යන දේශය වෙත යන්න. එහෙත් මම නුඹලා සමඟ නො එන්නෙමි. මන්ද නුඹලා මහ මුරණ්ඩු ජනතාවක් බැවින්, අතර මගදී නුඹලා වනසා දමන්නට මට සිදු විය හැකි බැවිනි” යි පැවසූ සේක.
4ඛේදජනක මෙම වචන ඇසූ ජනයා වැලපෙන්නට වන්හ. කිසිවකුත් කිසි ආභරණයක් පැලැන්දේ නැත. 5එසේ වූයේ, “ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, ‘නුඹලා මහ මුරණ්ඩු ජනතාවක්; එක මොහොතකට හෝ මා නුඹලා සමඟ ආවහොත්, මා අතින් නුඹලා වැනසෙනු ඇත. දැන් නුඹලාගේ ආභරණ ගලවා දමන්න. නුඹලා සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි මම නිශ්චය කරන්නෙමි කියා ඉශ්‍රායෙල් ජනයාට කියන්නැ’ යි” පවසා තිබූ බැවිනි. 6එබැවින් ඉශ්‍රායෙල් ජනයා හොරේබ් කන්දේ සිට ඉදිරියට තම ආභරණ ගලවාගෙන ගමන් කළෝ ය.
හමුවීමේ කූඩාරම
7මෝසෙස් කූඩාරමක් රැගෙන කඳවුරට පිටතින්, ඊට මදක් ඈතින්, එය පිහිටුවන්නට පුරුදු ව සිටියේ ය. ඔහු එය හැඳින්වූයේ, “හමුවීමේ කූඩාරම” නමිනි. ස්වාමින්වහන්සේගෙන් විචාරණ කවරෙක් වුව, කඳවුරෙන් පිටත මෙම හමුවීමේ කූඩාරම වෙත ගියේ ය. 8මෝසෙස් කූඩාරම වෙත පිටත් ව ගිය අවස්ථාවන්හි, ජනයා සැවොම නැගිට, තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිටගෙන, මෝසෙස් කූඩාරමට ඇතුළු වන තෙක් බලා සිටියහ. 9මෝසෙස් කූඩාරම තුළට වන් කල, වලා ටැඹ පහත බැස අවුත්, කූඩාරම් දොරකඩ පිහිටා සිටියේ ය. එකල ස්වාමින්වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක. 10වලා ටැඹ කූඩාරම් දොරකඩ පිහිටා සිටිනු දකින කල, ජනයා සියල්ලෝ තම තමන්ගේ කූඩාරම් දොරකඩ නැගිට, නමස්කාර කළෝ ය. 11මිනිසකු තම මිතුරා සමඟ සාමීචියේ යෙදෙන්නා සේ, ස්වාමින්වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු මෝසෙස් කඳවුරට පෙරළා පැමිණියේ ය. එහෙත් නූන්ගේ පුත්, ඔහුගේ සහායක තරුණ යෝෂුවා කූඩාරම හැර නො ගියේ ය.
ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය
12මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, “බැලුව මැනව, ‘මේ ජනයා කැඳවාගෙන යන්නැ’ යි ඔබ මට කියන නමුදු මා සමඟ යෑමට ඔබ එවන්නේ කවුරුදැයි කීවේ නැත. තවද ඔබවහන්සේ කතා කොට, ‘නමින් ම මම ඔබ හඳුනමි. මගේ ප්‍රසාදය ඔබට ලැබී ඇතැ’ යි කී සේක. 13ඔබවහන්සේ මා හා ප්‍රසන්න නම්, මට ඔබගේ මාර්ග ඉගැන්වුව මැනව. එවිට ඔබ හැඳින, ඔබගේ ප්‍රසන්නතාවෙහි පැවත සිටින්නට මට හැකි වෙයි. මේ ජාතිය ඔබගේ ජනයා බැව් ද සිහි කළ මැනව” යි කීවේ ය.
14 ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ අභිමුඛය ඔබ සමඟ යනු ඇත. මම ඔබට විවේකය දෙන්නෙමි” යි පැවසූ සේක.
15එවිට මෝසෙස් උන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේගේ අභිමුඛය අප සමඟ යන්නේ නැති නම්, මෙතැනින් එහාට අප නො යැවුව මැනව. 16ඔබවහන්සේ මා සමඟත්, ඔබගේ මේ ජනයා සමඟත් ප්‍රසන්න වග අන් අය දැනගන්නේ, ඔබවහන්සේ අප සමඟ යෑමෙන් මිස වෙන කොහොම ද? මේ පොළෝ තලේ වෙසෙන අන් ජාතීන් අතරින් මාත්, ඔබගේ මේ ජනයාත් වෙන් කර හැඳිනගත හැක්කේ අන් කෙලෙසක දැ?” යි පැවසී ය.
17එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “ඔබ ඉල්ලූ මේ දේත් මම ඉටු කරන්නෙමි. මන්ද මගේ ඇස් හමුවේ ඔබට මගේ ප්‍රසාදය ලැබී තිබේ. නමින් ම මම ඔබ හඳුනමි” යි පැවසූ සේක.
18එවිට මෝසෙස්, “අහෝ මට ඔබගේ තේජෝ මහිමය පෙන්වුව මැනව” යි අයැදී ය.
19 ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මම මගේ මුළු ගුණවන්තකම ඔබ ඉදිරිපිටින් යන්නට සලසමි. ස්වාමින්වහන්සේ යන මගේ නාමය ඔබ ඉදිරියේ, ප්‍රකාශ කරන්නෙමි. යමකුට දයාව පෑමට මා කැමති නම්, මම ඒ අයට දයාව පාන්නෙමි. යමකුට අනුකම්පා වන්නට මා කැමති නම්, මම ඒ අයට අනුකම්පා කරන්නෙමි. 20එහෙත් මගේ මුහුණ දකින්නට ඔබට නුපුළුවන. මන්ද කිසි කෙනකුට මා දැක, ජීවත් වන්නට නුපුළුවනැ” යි පැවසූ සේක.
21ඉන්පසු ස්වාමින්වහන්සේ යළි කතා කරමින්, “මෙන්න! මා අසල තැනක් තිබේ. එතැන පර්වතය පිට ඔබට සිටගත හැකියි. 22එවිට, මගේ තේජෝ මහිමය ඔබ පසු කර යන කල, මම පර්වතයේ විවරයක් තුළ ඔබ හිඳුවා, මා ඔබ පසු කර යන තෙක්, මගේ අතින් ඔබ ආවරණ කරන්නෙමි. 23ඉන්පසු මම මගේ අත ඉවතට ගන්නෙමි. එවිට ඔබ මගේ පිටුපස දකිනු ඇත. එහෙත් මගේ මුහුණ දැකිය නො හැකි යැ” යි පැවසූ සේක.

موجودہ انتخاب:

නික්මයාම 33: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in