නික්මයාම 27

27
දවන යාග පූජාසනය
1“පූජාසනය, අකේෂියා ලීයෙන් ඉදි කරන්න. එය දිගින් රියන් පහක් ද පළලින් රියන් පහක් ද යන වශයෙන් සමචතුරස්‍රාකාර විය යුතු අතර, එය උසින් රියන් තුනක් විය යුතු ය. 2උඩට නෙරා සිටින සේ, එහි හතර කොනේ අං සාදන්න. එම අං හා පූජාසනය තනි නිර්මාණයක් විය යුතු අතර, එය ලෝකඩයෙන් වසාලන්න. 3එහි සියලු උපකරණ වන අළු ඉවත් කරන බඳුන්, හැඳි, ඉසින පාත්‍ර, මස් කොකු, ගිනි කබල් යන දෑ ලෝකඩින් සාදන්න. 4ලෝකඩ දැලකින් ඊට ගිනි මැස්සක් සාදා, දැලේ හතර කොනේ ලෝකඩ වළලු හතරක් සාදන්න. 5ගිනි මැස්ස, පූජාසනයේ උසින් අඩක් වන තරමින් පිහිටන සේ, එය පූජාසනයේ ගැටිය යටින් තබන්න. 6පූජාසනය සඳහා අකේෂියා ලීයෙන් පොලු සාදා, ඒවා ලෝකඩයෙන් වසාලන්න. 7එම පොලු, වළලුවල රුවා තිබිය යුත්තේ, පූජාසනය ඔසවාගෙන යන කල, එහි දෙපස ඒවා තබනු පිණිස ය. 8පූජාසනය කුහර ව සිටින සේ ලෑලිවලින් එය සාදන්න. එය සෑදිය යුත්තේ කන්දේදී ඔබට පෙන්වන ලද අයුරිනි.
කූඩාරම් මළුව
9“මණ්ඩපයට මළුවක් සාදන්න; එහි දකුණු පැත්තේ දිග රියන් සියයකි. ඊට සියුම් ව වියන ලද හණ පිළියෙන් කළ තිර ද 10කණු විස්සක් ද ලෝකඩ පාද තල විස්සක් ද කණුවල රිදී කොකු හා පටි ද විය යුතු ය. 11එහි උතුරු පැත්ත දිගින් රියන් සියයක් විය යුතු ය. ඊට ද තිර හා කණු විස්සක් ද ලෝකඩ පාද තල විස්සක් ද කණුවල රිදී කොකු හා පටි ද විය යුතු ය.
12“මෙම මළුවේ බටහිර පැත්ත පළලින් රියන් පනහක් විය යුතු අතර ඊට තිර ද කණු දහයක් ද පාද තල දහයක් ද විය යුතු ය. 13මළුවේ හිරු නැගෙන දිසාව වන නැගෙනහිර පැත්ත ද පළලින් රියන් පනහක් විය යුතු ය. 14පිවිසුමේ එක් පැත්තකට රියන් පහළොවක් දිග තිර ද කණු තුනක් හා පාද තල තුනක් ද 15පිවිසුමේ අනෙක් පැත්තට රියන් පහළොවක් දිග තිර ද කණු තුනක් හා පාද තල තුනක් ද අවැසි ය.
16“මළුවේ දොරටු තිරය, රියන් විස්සක් දිගින් යුතු නිල්, දම් හා තද රත් පැහැති නූලෙන් ද සියුම් ව ගොතන ලද හණ පිළියෙන් ද කළ ගෙත්තම් ශිල්පීය නිමැවුමක් විය යුතු ය. ඊට කණු හතරක් හා පාද තල හතරක් විය යුතු ය. 17මළුව වටා සියලු කණු සඳහා රිදී පටි ද ඒවායේ රිදී කොකු ද ලෝකඩ පාද තල ද තිබිය යුතු ය. 18මළුව, රියන් සියයක් දිගින් ද රියන් පනහක් පළලින් ද යුතු ව, රියන් පහක් උස සියුම් ව ගොතන ලද හණ පිළියෙන් කළ තිරවලින් ද ලෝකඩ පාද තලවලින් ද යුක්ත විය යුතු ය. 19මණ්ඩපයේ සෑම සියලු සේවාවන් සඳහා යොදා ගැනෙන උපකරණ සියල්ල ද එහි කූඤ්ඤ සියල්ල ද මළුවේ කූඤ්ඤ සියල්ල ද ලෝකඩ විය යුතු ය.
පහන දැල්වීමට තෙල්
20“පහනක් නිතර ම දැල් වී තිබෙන ලෙසට, ඔලීව කොටා, සිඳගත් පිරිසිදු තෙල් ඔබ වෙත ගෙනෙන්නට ඉශ්‍රායෙල් ජනයාට අණ කරන්න. 21හමුවීමේ කූඩාරමේ සාක්ෂි ගල්ලෑලි ඉදිරිපිට, තිරයට පිටතින් ආරොන් හා ඔහුගේ පුතුන් ස්වාමින්වහන්සේ ඉදිරියේ සවස සිට උදය දක්වා මෙම පහන දල්වා තැබිය යුතු ය. ඉශ්‍රායෙල් ජනයා අතරේ පරපුරින් පරපුරට මෙය සදාතනික නියෝගයක් වන්නේ ය.

موجودہ انتخاب:

නික්මයාම 27: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in