නික්මයාම 24
24
ගිවිසුම ස්ථිර කිරීම
1ඉන්පසු උන්වහන්සේ මෝසෙස්ට කතා කළ සේක්, “ඔබ හා ආරොන් ද නාදාබ් හා අබීහූ ද ඉශ්‍රායෙල් වැඩිහිටියන් හැත්තෑ දෙනකු ද ස්වාමින්වහන්සේ වෙත නැග එන්න. නුඹලා දුරින් සිට, නමස්කාර කළ යුතු ය. 2මෝසෙස් පමණක් ස්වාමින්වහන්සේ වෙත ළඟා විය යුතු ය. එහෙත් සෙසු අය ළං නො විය යුතු ය. ජනයා ඔහු සමඟ කන්දට නො නැගිය යුතු යැ” යි පැවසූ සේක.
3එවිට මෝසෙස් අවුත්, ස්වාමින්වහන්සේගේ සියලු වචන හා නියෝග ජනතාවට පැවසී ය. ඔවුහු සියල්ලෝ එක හඬින් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ වචනයෙන් කියා ඇති හැම දෙයක් ම අපි කරන්නෙමු” යි කීහ. 4එවිට මෝසෙස් ස්වාමින්වහන්සේගේ සියලු වචන ලියා තැබී ය.
ඔහු අරුණ උදෙන් පිබිද, කන්ද පාමුල පූජාසනයක් තනා, ඉශ්‍රායෙල් දොළොස් ගෝත්‍ර වංශ සඳහා ගල් ස්තම්භ දොළහක් සිටුවී ය. 5ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් තරුණයින් කිහිප දෙනකු යැවී ය. ඔවුහු දවන යාග පූජා ඔප්පු කොට, ස්වාමින්වහන්සේට ශාන්ති පූජා වශයෙන් ගවයින් ඔප්පු කළහ. 6මෝසෙස් ලෙයින් හරි අඩක් ගෙන, පාත්‍රවල දැමී ය. ඔහු ඉතිරි අඩ, පූජාසනය මත ඉසී ය. 7ඉන්පසු ඔහු ගිවිසුම් පොත ගෙන, ජනයා අසා සිටියදී එය කියවී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ කියා ඇති හැම දෙයක් ම අපි කරන්නෙමු; අපි කීකරු වන්නෙමු” යි කීහ.
8එවිට මෝසෙස් ඒ ලේ ගෙන, ජනතාව පිට ඉසිමින්, “ඒ සියලු වචනවලට අනුකූලව ස්වාමින්වහන්සේ ඔබ සමඟ කළ ගිවිසුමේ ලේ මේ යැ” යි කීවේ ය.
9ඉන්පසු මෝසෙස් හා ආරොන් ද නාදාබ් හා අබීහූ ද ඉශ්‍රායෙල් වැඩිහිටියන් හැත්තෑදෙනා ද කන්දට නැගුණෝ, 10ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝ ය. උන්වහන්සේගේ පාද යට අහස සේ ම පැහැදිලි නිල් මැණිකකින් සැදි පාදිකාවක් වැන්නක් විය. 11එහෙත් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාගේ මෙම වැඩිහිටියනට එරෙහිව ස්වකීය හස්තය එසවූයේ නැත. ඔවුහු දෙවියන්වහන්සේ දුටුවෝ ය; කෑවෝ ය; බීවෝ ය.
12 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “කන්ද උඩට මා වෙත අවුත්, මෙහි නැවතී සිටින්න. ඔවුන්ට උපදෙස් වශයෙන් මා ලියූ ව්‍යවස්ථාව හා ආඥා සඳහන් ගල් පුවරු, මම ඔබට දෙන්නෙමි” යි පැවසූ සේක.
13එවිට මෝසෙස් තම සහායක යෝෂුවා සමඟ පිටත් වූයේ ය. මෙසේ මෝසෙස් දෙවියන්වහන්සේගේ කන්දට නැගුණේ ය. 14ඔහු වැඩිහිටියන් අමතමින්, “අප ඔබ වෙත පෙරළා එන තුරු මෙහි නැවතී ඉන්න. ආරොන් ද හූර් ද ඔබ සමඟයි. යමකුට යම් ආරවුලක් පැන නැගුණොත්, ඔහුට ඔවුන් වෙත යා හැකි යැ” යි කී ය.
15මෝසෙස් කන්ද උඩට නැගුණු කල, වලාකුළ කන්ද වසා ගත්තේ ය. 16ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය සීනයි කන්ද මත පිහිටා සිටියේ ය. හය දවසක් ම වලාකුළ කන්ද වසා සිටියේ ය. හත් වන දවසේ ස්වාමින්වහන්සේ වලාව මධ්‍යයේ සිට මෝසෙස්ට කතා කළ සේක. 17ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඉශ්‍රායෙල්වරුන්ට දිස්වූයේ, කන්ද මුදුනෙහි ඇවිළෙන ගින්නක් ලෙසිනි. 18එවිට මෝසෙස් කන්ද උඩට නගිමින්, වලාකුළට ඇතුළු විය. ඔහු දහවල හතළිහක් හා රෑ හතළිහක් කන්දේ ගත කළේ ය.
موجودہ انتخاب:
නික්මයාම 24: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.