ද්විතීය 24
24
1මිනිසෙක් කාන්තාවක ආවාහ කර ගත් පසු, ඇය පිළිබඳ යම් අවිනීතකමක් දැක, ඇය කෙරේ අප්‍රසන්න වී, දික්කසාද සහතිකයක් ලියා, එය ඇයට දී, තම නිවසින් ඇය පිටත් කර යැවූ කල, 2ඇය ඔහුගේ නිවසින් පිටත් ව ගොස්, වෙනත් මිනිසකුගේ බිරිඳ බවට පත් ව සිටියදී, 3ඇගේ දෙවන සැමියා ද ඇයට අකමැති වී, දික්කසාද සහතිකයක් ලියා දී, තම නිවසින් ඇය පිටත් කර හැරියොත්, හෝ ඔහු මිය ගියහොත්, 4ඇය දික්කසාද කළ ඇගේ පළමු සැමියාට යළි ඇය ආවාහ කර ගැනීමට අවසර නැත. ඒ, ඇය දූෂ්‍ය වූ බැවිනි. ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ එය පිළිකුලක් ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට උරුමයක් කොට දෙන දේශය පිටට පාපය ගෙන නො එන්න.
5මිනිසකු අලුත විවාහ වූ කල, යුද්ධයට ඔහු පිටත් කර නො හැරිය යුතු ය; වෙනත් රාජකාරියක් ද ඔහු පිට නො පැවරිය යුතු ය. එක් අවුරුද්දක් නිදහසේ ගෙදර නැවතී සිටිමින්, ඔහු ආවාහ කොට ගත් බිරිඳ සතුටු කරන්නට ඔහුට පුළුවන.
6ඇඹරුම් ගල් යුගල, අඩු වශයෙන් එහි අත් ගලවත් ණයක ඇපයකට නො ගන්න. මන්ද එය මිනිසකුගේ ජීවිකාව ඇපයට ගැනීමකි.
7මිනිසකු තම සහෝදර ඉශ්‍රායෙල් ජාතිකයකු පැහැරගෙන, වහලකුට සේ ඔහුට සලකන කල හෝ ඔහු විකුණන කල හෝ අසු වුවහොත්, ඒ කොල්ලකරු මරා දැමිය යුතු ය. ඔබ අතරෙහි දුෂ්ටකම ඔබ පහ කර දැමිය යුතු ය.
8කුෂ්ඨ රෝගයකදී ලෙවීය පූජකයින් ඔබට දෙන උපදෙස් අකුරට ම පිළිපදින්නට වඩාත් පරෙස්සම් වන්න. මා ඔවුනට අණ කළ දෑ ඔබ පිළිපැදිය යුතු ය. 9ඔබ ඊජිප්තුවෙන් පිටත් ව, මග එන අතරේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මිරියාම්ට කළ දේ සිහි කරන්න.
10ඔබේ අසල්වැසියාට කවර අයුරක හෝ ණයක් දෙන කල, ඇපයක් වශයෙන් ඔහු ඉදිරිපත් කරන දේ ගැනීමට ඔහුගේ ගේ තුළට නො යන්න. 11ඔබෙන් ණය ගන්නා මිනිසා ඇපය ඔබ වෙත ගෙන එන තෙක්, පිටත රැඳී සිටින්න. 12ඔහු දුප්පතකු නම්, ඔහුගේ ඇපය ඔබ බාරයේ තිබියදී නින්දට නො යන්න. 13නිදන්නට ඔහුගේ පොරෝනය වන ඔහුගේ කබාය, හිරු බැස යන කල, ඔහුට ආපසු දෙන්න. එවිට ඔහු ඔබට ස්තුති කරනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හමුවේ එය ඔබට ධර්මිෂ්ඨකම වශයෙන් ගැනේ.
14සහෝදර ඉශ්‍රායෙල්වරයකු හෝ ඔබේ නගරයක වෙසෙන විදෙස්සකු වන දිළිඳු, අසරණ කුලීකරුවකුගෙන් අයුතු ප්‍රයෝජන නො ගන්න. 15ඔහු දුප්පතකු නිසාත්, පඩියෙන් ම යැපෙන්නකු නිසාත් ඔහුගේ දවසේ පඩිය, ඒ ඒ දවසේ හිරු බැස යන්නට පෙර ඔහුට ගෙවන්න. නැතහොත් ඔහු ඔබට එරෙහිව ස්වාමින්වහන්සේට මොර ගැසිය හැක. එවිට ඔබ ඒ පාපයට වරදකරු වනු ඇත.
16තම දරුවන් නිසා පියවරුවත්, තම පියවරුන් නිසා දරුවෝවත් මරණයට පත් කරනු නො ලබත්වා. එක් එක්කෙනා මරණයට පත් විය යුත්තේ තමාගේ ම පාපය උදෙසා ය.
17විදෙස්සකුගේ හෝ පියා නැති අනාථයකුගේ හෝ අයිතිය පැහැර නො ගන්න. වැන්දඹු ස්ත්‍රියකගේ කබාය ඇපයක් වශයෙන් නො ගන්න. 18ඊජිප්තුවෙහි ඔබත් වහලුන් ව සිටි වග, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එතැනින් ඔබ මිදූ වග සිහි කරන්න. මෙසේ කරන්නැයි මා ඔබට අණ කරන්නේ එබැවිනි.
19ඔබේ කෙතේ අස්වැන්න නෙළන කල, ගොයම් මිටියක් කෙතේ ඔබට අමතක වුවහොත්, එය ගෙනෙන්නට ආපසු නො යන්න. ඔබේ දෑතේ සියලු වැඩවලදී ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරනු පිණිස, එය විදෙස්සන්ට ද පියා නැති අනාථ දරුවන්ට ද වැන්දඹු ස්ත්‍රීන්ට ද ගන්නට හරින්න. 20ඔබේ ඔලීව ගස්වල පලදාව නෙළන කල, මග හැරුණු ගෙඩි සොයමින්, දෙවන වරටත් අතු බලබලා නො යන්න. ඉතිරි ව ඇති දෑ විදෙස්සන්ට ද පියා නැති අනාථ දරුවන්ට ද වැන්දඹු ස්ත්‍රීන්ට ද ගන්නට හරින්න. 21ඔබේ මිදි වත්තේ මිදි අස්වැන්න නෙළන කල මිදි වැල් පිරික්සමින්, නැවත නො යන්න. ඉතිරි ව ඇති දෑ විදෙස්සන්ට ද පියා නැති අනාථ දරුවන්ට ද වැන්දඹු ස්ත්‍රීන්ට ද ගන්නට හරින්න. 22ඔබත් ඊජිප්තුවේ වහලුන් ව සිටි වග සිහි කරන්න. මෙසේ කරන්නැයි මා ඔබට අණ කරන්නේ එබැවිනි.
موجودہ انتخاب:
ද්විතීය 24: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.