2 සාමුවෙල් 16

16
දාවිත් හා සීබා
1දාවිත් කඳු මුඳුන පසු කොට මදක් ඔබ්බට ගිය කල, එහිදී ඔහුට මෙෆීබොෂෙත්ගේ සේවක සීබා මුණ ගැසිණි. ඔහු සමඟ සෑදල දමන ලද බූරු බානක් ද උන් පිට පටවන ලද රොටි දෙසියයක් ද වියළි මිදි කැටි සියයක් ද ගිම්හාන පලතුරු සියයක් ද මිදි යුෂ හම් බඳුනක් ද විය.
2රජු සීබා අමතමින්, “නුඹ මේවා ගෙන ආවේ කුමට දැ?” යි ඇසී ය.
සීබා පිළිතුරු දෙමින්, “බූරුවන්, රජුගේ පවුලේ අයට නැගී යන්නට; රොටි සහ පලතුරු මිනිසුන්ට කෑමට; මිදි යුෂ, පාළුකරයේදී වෙහෙසට පත්වූවන් ප්‍රාණවත් කිරීමට” යි කීවේ ය.
3එවිට රජු, “නුඹේ හාම්පුතාගේ මුනුපුරා කොහේ දැ?” යි ඇසී ය.
සීබා, රජුට පිළිතුරු දෙමින්, “අන්න ඔහු යෙරුසලමේ නැවතී සිටී. ඔහු සිතා ඉන්නේ, ‘ඉශ්‍රායෙල් වංශය අද දවසේ මගේ පියාගේ රාජ්‍යය යළි මට දෙනු ඇත’ කියා ය” යි පැවසී ය.
4එවිට රජු, “මෙෆීබොෂෙත්ට අයිති සියල්ල දැන් ඔබගේ යැ” යි සීබාට කීවේ ය.
“මම යටහත් ව හිස නමමි. ඔබගේ ඇස් හමුවේ මට ප්‍රසාදය ලැබේවා මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවනි” යි එවිට සීබා කීවේ ය.
ෂිමෙයි, දාවිත්ට ශාප කිරීම
5දාවිත් රජු බහූරීම් වෙත ළඟා වෙද්දී සාවුල්ගේ වංශයේ එම පෙළපතට ම අයත්, ගේරාගේ පුත්‍ර ෂිමෙයි නම් මනුෂ්‍යයෙක් නො නැවතී ශාප කරමින් පැමිණියේ ය. 6ඔහු දාවිත්ට හා දාවිත් රජුගේ සියලු සේවකයින්ට ගල් දමා ගැසී ය. ජනයා සියල්ලෝ ද වීර සෙබළුන් ද ඔහුගේ දකුණු පසින් හා වම් පසින් වූහ. 7ෂිමෙයි ශාප කරමින්, “පිට වී යනු. පිට වී යනු මිනී මරුවා; තක්කඩියා. 8නුඹ වැගුරූ සාවුල් වංශයේ සියල්ලන්ගේ ලේ ගැන, ඔහුගේ රජකම පවරා ගත් නුඹෙන් ස්වාමින්වහන්සේ පළිය අරගෙන; ස්වාමින්වහන්සේ රාජ්‍යය නුඹේ පුත්‍ර අබ්සලොම්ට පවරා දීලා; ඔන්න විපත්තිය නුඹ පිටට පැමිණිලා. මන්ද නුඹ ලේ තවරාගත් මිනිසකු බැවිනි” යි කීවේ ය.
9එවිට සෙරූයාගේ පුත් අබිෂයි, රජුට කතා කොට, “මේ මළ බල්ලා මගේ ස්වාමි වූ රජ්ජුරුවන්ට ශාප කරන්නේ මොකද? ගොස්, ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර” යි කීවේ ය.
10එහෙත් රජු, “සෙරූයාගේ පුත්‍රයිනි, මට නුඹෙන් ඇති කාරිය කිම ද? ඔහු ශාප කරන්නේ, ‘දාවිත්ට ශාප කරනු’ යි ස්වාමින්වහන්සේ ඔහුට කියා ඇති නිසා නම්, ‘ඔබ මෙසේ කළේ ඇයි ද?’ කියා ප්‍රශ්න කළ හැක්කේ කවරකුට දැ?” යි කීවේ ය.
11දාවිත් ඉන්පසු අබිෂයි හා තමාගේ සියලු නිලධාරීන් අමතමින්, “බලන්න! මට දාව උපන් මගේ ම පුත්‍රයා මගේ ජීවිතය නසන්නට සොයනවා නම්, මේ බෙන්යමිනුවා ඊට කොපමණ වැඩියෙන් නො කරයි ද? ඔහු ඔහේ උන්නාවේ; ශාප කළා වේ! එසේ කරන්නට ස්වාමින්වහන්සේ ඔහුට කියා ඇත. 12ස්වාමින්වහන්සේ මගේ මේ දුක දැක, අද මා ලබන මේ ශාපය වෙනුවට ඇතැම් විට මට යහපත සලසනු ඇතැ” යි පැවසී ය.
13මෙසේ දාවිත් හා ඔහුගේ පිරිස මාවතේ දිගට ම ගමන් ගනිද්දී, ෂිමෙයි ඔවුන්ට සමාන්තර ව කන්ද ඔස්සේ ගියේ දාවිත්ට ශාප කරමිනි; ගල් ගසමිනි; දූලි දමා ගසමිනි. 14රජු හා ඔහු සමඟ වූ සියලු ජනයා විඩාබර ව ගමනාන්තයට ළඟා වූහ. ඔහු එහි නැවතී විඩා නිවාගෙන, ප්‍රබෝධවත් විය.
හූෂයි සහ අහිතොෆෙල්
15මේ අතර අබ්සලොම් හා සියලු ඉශ්‍රායෙල්වරු යෙරුසලමට ආහ. අහිතොෆෙල් ද ඔහු සමඟ විය. 16එවිට දාවිත්ගේ මිතුරා වන අර්කීය හූෂයි, අබ්සලොම් වෙත අවුත්, “රජතුමා දිගු කල් දිනේවා! රජතුමා දිගු කල් දිනේවා!” යි කීවේ ය.
17එවිට අබ්සලොම් හූෂයි අමතමින්, “ඔබේ මිතුරාට දක්වන පක්ෂපාතීත්වය ද මේ? ඔබ ඔබගේ මිතුරා සමඟ නො ගියේ ඇයි?” දැයි ඇසී ය.
18හූෂයි, අබ්සලොම්ට පිළිතුරු දෙමින්, “එසේ නො වේ; ස්වාමින්වහන්සේත්, මේ ජනයාත්, සියලු ඉශ්‍රායෙල්වරුත් තෝරාගත් තැනැත්තාටයි මා අයිති. මම ඔහු සමඟ නවතිමි. 19ඒ ඇරත්, මා සේවය කළ යුත්තේ කවරකුට ද? පුත්‍රයාට මා සේවය කළ යුතු නො වේ ද? පියාට මා සේවය කළ අයුරින් පුත්‍රයාටත් සේවය කරනවා” යි පැවසී ය.
20ඉන්පසු අබ්සලොම්, අහිතොෆෙල් අමතමින්, “දෙන්න අපට ඔබේ උපදේශය; කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසී ය.
21අහිතොෆෙල් පිළිතුරු දෙමින්, “රජ මැදුර බලා ගැනීමට නවතා යන ලද ඔබේ පියාගේ අතිරේක භාර්යාවන් සමඟ යහන් වදින්න. එවිට ඔබ, ඔබේ පියාගේ නහයට දුගඳක් කර ගත් වග සියලු ඉශ්‍රායෙල්වරුන් අසනු ඇත. ඔබ සමඟ සිටින හැම කෙනකුගේ ම අත් එමඟින් සවිමත් වනු ඇතැ” යි කීවේ ය. 22එබැවින් ඔවුහු මාලිග පියස්ස මත අබ්සලොම්ට කූඩාරමක් තැනූහ. සියලු ඉශ්‍රායෙල්වරුන් හමුවේ අබ්සලොම් තම පියාගේ අතිරේක භාර්යාවන් හා යහන් වැදුණේ ය.
23එදවස්හි අහිතොෆෙල්ගේ උපදේශය සලකන ලද්දේ දෙවියන්වහන්සේගෙන් විමසීමක් ලෙසිනි. දාවිත් මෙන් ම අබ්සලොම් ද අහිතොෆෙල්ගේ උපදෙසක් සලකන ලද්දේ එපරිද්දෙනි.

موجودہ انتخاب:

2 සාමුවෙල් 16: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in