2 සාමුවෙල් 14

14
අබ්සලොම් ආපසු එයි
1රජුගේ හද අබ්සලොම් වෙත නැඹුරු ව ඇති වග සෙරූයාගේ පුත් යෝවාබ්ට වැටහිණ. 2එබැවින් යෝවාබ්, තෙකෝවා නුවරට පණිවුඩ යවා, නැණවත් කාන්තාවක් එහි සිට ගෙන්වා ගත්තේ ය. ඔහු ඇයට උපදෙස් දෙමින්, “ඔබ ශෝකවෙමින් සිටින වග අඟවා, ශෝක වන්නියක සේ සැරසී, ආලේපන නො ගල්වා, මළවුන් උදෙසා බොහෝ දවසක් ශෝකයෙන් සිටින කාන්තාවක සේ රඟපාන්න. 3ඒ අයුරින් රජු ඉදිරියට ගොස්, මෙසේ කියන්නැ” යි කීවේ ය. මෙසේ යෝවාබ්, ඇය කිය යුතු දෑ ඇයට කියා දුන්නේ ය.
4තෙකෝවාහි කාන්තාව රජු හමුවට පැමිණි කල, රජුට ගෞරව දක්වමින් මුණින් තලා වැටී, “පිහිට වන්න, අහෝ රජ්ජුරුවනි” යි කීවේ ය.
5රජු ඇය අමතමින්, “මොකක් ද ඔබේ කරදර යැ?” යි ඇසුවේ ය.
ඈ පිළිතුරු දෙමින්, “අනේ, මම වැන්දඹුවක්. මගේ සැමියා මිය ගොසින්. 6ඔබේ සේවිකාවට පුතුන් දෙදෙනෙක් සිටියා. බැද්දේදී වරක් ඔවුන් දෙදෙනා එකිනෙකා හා සටන් වැදුණා. ඔවුන් දෙපසට වෙන් කරන්න කිසිවකුත් සිටියේ නෑ. එකෙක් අනෙකාට පහර දී ඔහු මැරුවා. 7දැන් මුළු පෙළපත ම ඔබේ සේවිකාවට එරෙහිව නැගී සිටලා. ඔවුන් කියන්නේ, ‘තම සහෝදරයා මැරූ එකා බාර දෙනු; ඔහු විසින් මරන ලද ඔහුගේ සහෝදරයාගේ ජීවිතය වෙනුවට ඔහු මරා දමන්නට; මෙසේ අපි උරුමකරුවාත් නැති කර දමන්නෙමු.’ මෙසේ ඔවුන් මට ඉතිරි ව ඇති එක ම ගිනි අඟුරත් නිවා දමාවි. එසේ වුවහොත්, මගේ සැමියාට මේ පොළෝ තලය මත නාමයක් හෝ දරුමල්ලෙක් හෝ නැතිව යනු ඇතැ” යි කීවා ය.
8එවිට රජු ඒ කාන්තාව අමතා, “ගෙදර යන්න; ඔබ ගැන මම නියෝග කරන්නම්” යි කීවේ ය.
9එහෙත් තෙකෝවා කාන්තාව රජු අමතමින්, “මගේ ස්වාමියා වූ රජතුමනි, ඒ දෝෂය මා පිටත්, මගේ පියවංශය පිටත් වේවා. රජුත්, රජුගේ සිහසුනත් නිදොස් වේවා” යි කීවා ය.
10එවිට රජු, “යම් කෙනෙක් ඔබට යම් දෙයක් කීවොත්, ඔහු මා වෙත පමුණුවන්න. එවිට ඔහු තවදුරටත් ඔබට කරදර කරනු නැතැ” යි කීවේ ය.
11එවිට ඈ, “එසේ නම්, මගේ පුත්‍රයා විනාශ නො වන ලෙසට, ලේ පළිය ගන්නා අතින් තවත් විනාශයක් නො කෙරෙන ලෙසට ඉල්ලූ රජ්ජුරුවෝ තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශපථ කරන්නැ” යි ඉල්ලුවා ය.
ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඔබේ පුත්‍රයාගේ හිස කෙසකුදු බිම නො වැටේ යැ” යි කීවේ ය.
12ඉන්පසු ඒ කාන්තාව, “මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට වචනයක් කියන්නට ඔබේ සේවිකාවට අවසර” යි කීවා ය.
“කියන්නැ” යි ඔහු කීවේ ය.
13එම කාන්තාව කතා කරමින්, “එසේ නම්, දෙවියන්වහන්සේගේ ජනයාට එරෙහිව ඔබත් එවැනි සැලසුම් කළේ මන්ද? නෙරපා හරින ලද තමන්ගේ ම පුත්‍රයා ආපසු කැඳවා ගැනීමට රජ්ජුරුවන් ක්‍රියා කොට නැති බැවින්, තමන් කී කියමනෙන් රජ්ජුරුවෝ තමන් ම වරදකරු කර ගන්නවා නො වේ ද? 14බිම ඉහිරුණු වතුර යළි එකතු කර ගත නො හැකි සේ ම අපත් මිය යා යුතුයි. එහෙත් දෙවියන්වහන්සේ ජීවිතයක් පැහැර නො ගන්නා සේක්, නෙරපා හරිනලද්දකු වුව තමන් වෙතින් බැහැර ව නො සිටින ලෙසට උපාය මාර්ගයක් සලසන සේක.
15“මගේ ස්වාමි රජ්ජුරුවන්ට මේ දෑ කීමට මා පැමිණියේ ජනයා මා බියගැන් වූ නිසයි. රජ්ජුරුවන්ට කතා කරන්නෙමැයි ඔබේ සේවිකාව සිතුවේ, ‘ඇතැම් විට රජ්ජුරුවන් තම සේවිකාව කියන්නක් කරාවි; 16දෙවියන්වහන්සේ අපට දුන් උරුමයෙන් මා හා මගේ පුත්‍රයා සිඳ දමන්නට යන මිනිසා අතින් තම සේවිකාව මුදා ගන්නට ඇතැම් විට රජ්ජුරුවන් එකඟ වේවි’ කියායි.
17“දැන් ඔබේ සේවිකාව කියන්නේ, ‘මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ගේ වචනයෙන් මට සහනය ලැබේවා කියායි. මන්ද මගේ ස්වාමියා වන රජ්ජුරුවන් හොඳ හා නපුර වටහා ගැන්මේදී දෙවියන්වහන්සේගේ දූතයකු වගෙයි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා’ යි” කීවා ය.
18එවිට රජ්ජුරුවෝ කාන්තාව අමතමින්, “මා ඔබෙන් අසන්නට යන ප්‍රශ්නයට පිළිතුරු මගෙන් සඟවන්න එපා” යි කීවේ ය.
“කියන්න, මා ස්වාමින් වන රජ්ජුරුවනි” යි කාන්තාව කීවා ය.
19රජු කතා කරමින්, “මේ හැම දේ සමඟ ඔබට පිටුපසින් ඇත්තේ යෝවාබ්ගේ අත නො වේ දැ?” යි ඇසී ය.
කාන්තාව පිළිතුරු දෙමින්, “මගේ ස්වාමියා වන රජ්ජුරුවනි, ඔබතුමා ජීවත් වන්නා සේ ම මගේ ස්වාමියා වන රජ්ජුරුවන් කී දෙයින් දකුණට හෝ වමට හෝ හැරෙන්නට කිසිවකුටත් නුපුළුවන. සැබවින් ම මෙසේ කිරීමට මට උපදෙස් දුන්නේත්, ඔබේ සේවිකාවගේ මුවට මේ සියලු වචන දුන්නේත් ඔබේ සේවක යෝවාබ් ය. 20ඔබේ සේවක යෝවාබ් මෙසේ කළේ පවතින තත්වය වෙනස් කරන පිණිස ය. දෙවියන්වහන්සේගේ දූතයකුගේ බඳු ප්‍රඥාව ඇති මගේ ස්වාමියා වූ රජතුමා දේශයේ සිදුවන හැම දෙයක් ගැන ම දනී” යැයි කීවා ය.
21ඉන්පසු රජු යෝවාබ්ට කතා කොට, “බොහොම හොඳයි. මම එය කරන්නම්. ගොසින්, අබ්සලොම් තරුණයා ආපසු කැඳවාගෙන එන්නැ” යි කීවේ ය.
22එවිට රජුට ගෞරවය දක්වමින්, යෝවාබ් මුණින් තලා වැටුණේ ය. රජුට ආශිර්වාද කරමින්, රජු ඇමතූ යෝවාබ්, “මගේ ස්වාමියාණන් වන රජතුමනි, ඔබගේ ඇස් හමුවේ ඔබගේ සේවකයා ප්‍රසාදය ලද වග අද ඔහු දැනගත්තේ ය. මන්ද රජතුමා එතුමාගේ සේවකයාගේ ඉල්ලීම ඉටු කළ බැවිනි” යි කීවේ ය.
23යෝවාබ්, ගෙෂූර් බලා පිටත් ව ගොස්, අබ්සලොම් ආපසු යෙරුසලමට කැඳවාගෙන ආවේ ය. 24එහෙත් රජු, “ඔහු ඔහුගේ ම ගෙදරට යා යුතුයි; ඔහු මගේ මුහුණ නො දැකිය යුතුයි” කීවේ ය. එබැවින් අබ්සලොම් තමාගේ ම නිවසට ගියේ ය. ඔහු රජුගේ මුහුණ හමුවට ගියේ නැත.
25අබ්සලොම් සේ, ඔහුගේ කඩවසම් පෙනීම ගැන ඒ සා වර්ණනා ලද අන් කිසිවකු මුළු ඉශ්‍රායෙල්හි ම සිටියේ නැත. ඔහුගේ යටි පතුල සිට හිස් මුදුන දක්වා කැළලක් නො වී ය. 26තම හිස කෙස් වැවී බර දැනුණු කල, අවුරුදු පතා ඔහු තම හිස කෙස් කැප්පවී ය. ඔහු තම හිස කෙස් කපා, කිරා බලන කල්හි රාජකීය මිණුමට අනුව ඒවා ෂෙකෙල් දෙසියයක#14:26 කිලෝග්‍රෑම් 2.3ක් පමණ බරින් යුතු විය.
27අබ්සලොම්ට පුතුන් තිදෙනෙක් ද දියණියක් ද උපන්හ. දියණියගේ නම තාමාර් ය. ඈ සුරූපී කාන්තාවක වූවා ය.
28මෙසේ අබ්සලොම් රජු ඉදිරියට නො පැමිණ ම පුරා අවුරුදු දෙකක් යෙරුසලමේ වාසය කළේ ය. 29ඉන්පසු, රජු හමුවට යෝවාබ් යවන පිණිස අබ්සලොම් ඔහු කැඳවා යැවී ය. එහෙත් යෝවාබ් ඔහු වෙත ඒම ප්‍රතික්ෂේප කළේ ය. ඔහු දෙවන වරටත් ඔහු කැඳවා යැවී ය. යෝවාබ් එවර ද ඔහු වෙත ඒම ප්‍රතික්ෂේප කළේ ය. 30එබැවින් ඔහු තම සේවකයින්ට කතා කොට, “අන්න, මගේ එකට අල්ලපු එක යෝවාබ්ගේ කුඹුරයි. එහි ඔහුගේ යව තියේ. ගොස්, ඒවා ගිනිලනු” යි කීවේ ය. එබැවින් අබ්සලොම්ගේ සේවකයෝ එම කුඹුර ගිනි ලෑවෝ ය.
31එවිට යෝවාබ් නැගිට, අබ්සලොම්ගේ නිවසට ගොස්, ඔහු අමතමින්, “මොකද ඔබේ සේවකයෝ මගේ කුඹුර ගිනි තිබ්බේ?” යි ඇසී ය.
32අබ්සලොම්, යෝවාබ්ට පිළිතුරු දෙමින්, “බලන්න, ‘ “ගෙෂූර්හි සිට මා මෙහි ඇවිත් සිටින්නේ කුමට ද? මේ වන තුරුත් එහි සිටියා නම් මට මීට වඩා හොඳ ය” කියා ඔබ රජුට කියා යවන පිණිස මෙහි එන්න’ කියා මා ඔබට පණිවුඩ යැවුවා. එබැවින් දැන් රජුගේ මුහුණ දකින්නට මට වුවමනායි. යම් හෙයකින් මා වරදකරුවකු නම්, ඔහු මා මරා දැමුවාවේ” යි කීවේ ය.
33යෝවාබ් එවිට රජු වෙත ගොස්, එපවත් සැල කළේ ය. රජු, අබ්සලොම් කැඳවී ය. ඔහු රජු වෙත අවුත්, රජු ඉදිරියේ මුහුණ බිමට නමා, ගෞරව දැක්වී ය. රජු අබ්සලොම් සිප ගත්තේ ය.

موجودہ انتخاب:

2 සාමුවෙල් 14: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in