1 සාමුවෙල් 24
24
දාවිත්, සාවුල්ගේ ජීවිතය බේරීම
1පිලිස්තිවරුන් ලුහුබැඳ යෑමෙන් පසු, සාවුල් ආපසු ආ කල, “අන්න! දාවිත් ඒන්-ගෙදී කාන්තාරයේ සිටිතැ” යි දන්වන ලදී. 2එවිට සාවුල් සමස්ත ඉශ්‍රායෙල් ජනයා වෙතින් තෝරාගත් මිනිසුන් තුන්දහසක් කැටිව, වල්එළු පර්වත අසල දාවිත් හා ඔහුගේ මිනිසුන් සොයන්නට පිටත් ව ගියේ ය.
3පාර අයිනේ වූ බැටළු කොටු වෙත ඔහු පැමිණියේ ය. එහි ගුහාවක් තිබිණ. ශරීර කෘත්‍ය පිණිස සාවුල් එහි ඇතුළු විය. දාවිත් හා ඔහුගේ මිනිසුන් හිඳ සිටියේ එහි ඇතුළු කෙළවරේ ය. 4එවිට දාවිත් ඇමතූ ඔහුගේ මිනිස්සු, “ ‘මෙන්න! ඔබේ කැමැත්තක් කරන්නට ඔබේ හතුරා ඔබේ අතට යටත් කර දෙමි’ යි ස්වාමින්වහන්සේ කියා ඇත්තේ#24:4 හෙවත් අද ස්වාමින්වහන්සේ කියන සේක අද දවස ගැන” යි කීහ. එවිට දාවිත් නැගිට ගොස්, සාවුල්ගේ පිට කබායේ කොනක් රහසේ කපා ගත්තේ ය.
5සාවුල්ගේ පිට කබා කොනක් කපා ගැනීම ගැන දාවිත්ගේ සිත පසුව ඔහුට දොස් පැවරී ය. 6එබැවින් තම මිනිසුන් ඇමතූ දාවිත්, “ස්වාමින්වහන්සේගේ අභිෂේක ලද්දා වන මගේ ස්වාමියාට එරෙහිව අත එසවීම වැනි දෙයක් කිරීමෙන්, ස්වාමින්වහන්සේ මා වළකන සේක්වා! මන්ද ඔහු ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දා යැ” යි කීවේ ය. 7ඒ වචන මගින් තම මිනිසුන්ට තරවටු කළ දාවිත්, සාවුල්ට පහර දීමට ඔවුනට ඉඩ නුදුන්නේ ය. සාවුල් නැගිට, ගුහාවෙන් නික්ම, යන්නට ගියේ ය.
8ඉන්පසු දාවිත් නැගිට සිට, ගුහාවෙන් පිටතට ගොස්, සාවුල් අමතමින්, “මගේ ස්වාමියා වූ රජ්ජුරුවනි” යි හඬ ගෑය. එවිට සාවුල් පිටුපස හැරී, බැලූ කල, දාවිත් බිමට නැමී, මුහුණ බිමට නමා, ගෞරවාචාර දැක්වී ය. 9ඉන්පසු සාවුල් ඇමතූ ඔහු, “ ‘අන්න ඔබට අනතුරු කරන්නට දාවිත් බලා සිටී’ කියන මිනිසුන්ට ඔබ මොකට සවන් දෙනවා ද? 10බලන්න! ගුහාව තුළදී ස්වාමින්වහන්සේ මගේ අතට ඔබ හසුකර දුන් හැටි මේ අද දවසේ ඔබේ ම ඇස්වලින් ඔබ දුටුවා නේද! ඔබ මරා දමන ලෙස ඇතමුන් මට බල කළත්, මම ඔබ බේරුවෙමි. මා කියා සිටියේ, ‘මගේ ස්වාමියා ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දා වන බැවින් ඔහුට විරුද්ධ ව මා මගේ අත ඔසවන්නේ නැත’ කියායි. 11මෙන්න! මා පියාණෙනි, බලන්න, ඔබේ පිට කබායේ කැබැල්ලක් මා අතේ තිබෙන හැටි! ඔබේ කබායේ කොනක් මා කපා ගත් නමුත්, මා ඔබ මැරුවේ නැහැ. එබැවින් මගේ අතේ වරදක් හෝ කැරලි ගැසීමක් නැති වග බලා දැනගන්න. මා ඔබට වරදක් කළේ නෑ. එහෙත් ඔබ මගේ දිවි තොර කිරීමට මා ලුහුබඳිනවා. 12ස්වාමින්වහන්සේ ඔබත්, මාත් අතර විනිශ්චය කරන සේක්වා! ස්වාමින්වහන්සේ මා වෙනුවෙන් ඔබගෙන් පළිගන්න සේක්වා! එහෙත් මගේ අත ඔබට එරෙහිව නො යේ. 13පැරණි කියමනකින් කියැවෙන පරිදි ‘දුෂ්ටයන්ගෙන් දුෂ්ටකම නික්මෙයි.’ මගේ අත නම් ඔබට එරෙහි වන්නේ නැහැ.
14“ඉශ්‍රායෙල් රජතුමා පිටත් ව ආවේ, කවරකුට එරෙහිව ද? ඔබ ලුහුබැඳ යන්නේ කවරකු ද? මළ බල්ලකු, බලු මැක්කකු පසු පස්සේ ද? 15ස්වාමින්වහන්සේ අපගේ විනිශ්චයකරුවාණන් වී, අප ගැන තීරණය කරන සේක්වා. උන්වහන්සේ මගේ නඩුව අසා, විමසන සේක්වා. මට යුක්තිය ඉටු කොට ඔබේ අතින් මා මුදන සේක්වා!” යි පැවසී ය.
16දාවිත් එම වචන පවසා නිම වූ විගස, සාවුල් කතා කරමින්, “ඒ ඔබේ කටහඬ ද දාවිත් මා පුත?” යි කීවේ ය. සාවුල් මහ හඬින් හඬන්නට වන්නේ ය. 17ඔහු දාවිත් අමතමින්, “මට වඩා, ඔබ ධර්මිෂ්ඨයි. ඔබ මට කර ඇත්තේ යහපතක්; එහෙත් මා ඔබට කර ඇත්තේ නපුරයි. 18ස්වාමින්වහන්සේ ඔබේ අත්වලට මා හසුකර දී තිබියදීත්, ඔබ මා නො මැරීමෙන් ඔබ මට සැලකූ හැටි අද දවසේ ඔබ මට පෙන්වා දුන්නා. 19මිනිසකුට තම හතුරා හසු වූ කල, යහතින් ඔහුට යන්නට ඉඩහරිනවා ද? එබැවින් අද දවසේ මා ගැන ඔබ කළ යහපතට ස්වාමින්වහන්සේ ඔබට ඉෂ්ට විපාකයක් දෙන සේක්වා! 20ඔන්න! නියත වශයෙන් ම ඔබ රජ වන බවත්, ඉශ්‍රායෙල් රාජ්‍යය ඔබ අතේ ස්ථිර වන බවත් මා දන්නවා. 21එබැවින්, මගෙන් පසු මගේ දරු පරපුර සිඳ නො දමන බවටත්, මගේ පියාගේ වංශයෙන් මගේ නම මකා නො දමන බවටත් ස්වාමින්වහන්සේ නමින් දැන් මට දිවුරන්නැ” යි ඉල්ලී ය.
22එවිට දාවිත්, සාවුල්ට එසේ දිවුළේ ය. ඉන්පසු සාවුල් ආපසු තම නිවස බලා ගියේ ය. දාවිත් හා ඔහුගේ මිනිස්සු බළකොටුවට නැග ගියහ.
موجودہ انتخاب:
1 සාමුවෙල් 24: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.