1 සාමුවෙල් 21

21
දාවිත් හා අහිමෙලෙක්
1දාවිත් නොබ්හි සිටි පූජක අහිමෙලෙක් වෙත ආවේ ය. දාවිත් හමුවට වෙවුලමින් ආ අහිමෙලෙක්, “ඇයි ඔබ තනි ව ම! වෙන කවුරුත් ඔබ හා නැත්තේ ඇයි?” දැයි ඇසී ය.
2දාවිත්, අහිමෙලෙක් පූජකයාට පිළිතුරු දෙමින්, “රජතුමා කාරියක් මට පවරා මා යවමින්, ‘ඔබගේ මෙම මෙහෙය ගැනත්, මා අණ කළ නියමයන් ගැනත් කිසිවකුත් දැනගත යුතු නැතැ’ යි කීවා. එබැවින් කිසියම් තැනකදී මා හමුවන්නැයි මගේ මිනිස්සුන්ට මා කීවා. 3හොඳයි දැන්! ඔබ ළඟ මොනවද තියෙන්නේ? රොටි පහක් හෝ ඔබට සොයාගත හැකි යමක් මට දෙන්නැ” යි කීවේ ය.
4පූජකයා දාවිත්ට පිළිතුරු දෙමින්, “සාමාන්‍ය රොටි මා අත නැත; ඔබේ මිනිසුන් කාන්තාවන් වෙතින් ඈත් ව සිටියා නම් පමණක් ශුද්ධ රොටි මෙහි ඇතැ” යි කීවේ ය.
5පූජකයාට පිළිතුරු දුන් දාවිත්, “සැබවින් ම මා රාජකාරී ගමනක් පිටත් ව යන කල කාන්තාවන් අප වෙතින් ඈත්කර තිබීම සිදුකෙරෙන්නක්. එසේ, සාමාන්‍ය ගමනකදී වුව මිනිසුන්ගේ සිරුරු පවිත්‍රයි. එහෙම නම්, අද ඔවුන් කොතරම් පවිත්‍ර දැ?” යි කීවේ ය. 6එබැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේ ය. මන්ද ස්වාමින්වහන්සේ ඉදිරිපිටින් ඉවත් කර ගන්නා ලද දේවාභිමුඛ රොටි මිස, එහි වෙන රොටි තිබුණේ නැත. ඒවා ඉවතට ගන්නා ලද්දේ ඒ වෙනුවට ඒ දවසේ ම උණු රොටි තබන පිණිස ය.
7ඒ අතර, සාවුල්ගේ සේවකයකු වූ එක්තරා මනුෂ්‍යයෙක් එදින ස්වාමින්වහන්සේ ඉදිරියේ එහි රැඳී සිටියේ ය. ඒදොම් වැසියකු වූ ඔහු සාවුල්ගේ ප්‍රධාන එඬේරා වන දෝවෙග් ය.
8දාවිත් අහිමෙලෙක්ට කතා කොට, “මෙහි ඔබ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් හෝ තියේ ද? රජුගේ කාරිය හදිසි නිසා මා මගේ අසිපතවත්, අන් අවියක්වත් ගෙන ආවේ නැතැ” යි කීවේ ය.
9පූජකයා පිළිතුරු දෙමින්, “ඔබ විසින් ඒලා මිටියාවතේදී මරන ලද පිලිස්තීය ගොලියත්ගේ කඩුව අන්න, සළුවක දවටා, ඒපොද් සැට්ටය පිටුපස තබා ඇත. ඔබට එය ඕනෑ නම් අරගන්න. එය මිස වෙන එකක් මෙහි නැතැ” යි කීවේ ය.
එවිට දාවිත්, “එහෙම එකක් තවත් කොහෙ ද; එය මට දෙන්නැ” යි කීවේ ය.
දාවිත්, ගාත්හි
10ඒ දවසේදී සාවුල් වෙතින් පලා ගිය දාවිත්, ගාත්හි රජු වූ ආකීෂ් වෙත ගියේ ය. 11එහෙත් ආකීෂ්ගේ සේවකයෝ ඔහුට කතා කොට, “මේ, එම දේශයේ රජු, දාවිත් නො වේ ද? ඔවුන් නට නටා,
“ ‘සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්,
දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්’
කියමින් ගී ගැයුවේ මොහු ගැන නො වේ දැ?” යි
කීවෝ ය.
12දාවිත් ඒ වචන සිතට ගත්තේ ය. ගාත්හි රජ වූ ආකීෂ්ට ඔහු හොඳට ම භය විය. 13එබැවින් ඔහු ඔවුන් ඉදිරියේ උමතු වගක් බොරුවට ඇඟවී ය. ඔවුන් බාරයේ සිටියදී ඔහු දොරටුවේ දොරවල් සූරමින් හා රැවුල දිගේ කෙළ පෙරෙන්නට හරිමින්, පිස්සකුගේ විලාසය පෑ ය.
14ආකීෂ් තම සේවකයින්ට කතා කොට, “පේනව ද! අර මිනිහා පිස්සෙක්; ඇයි මා වෙත ඔහු ගෙනාවේ? 15මා ඉදිරියේ මෙසේ හැසිරෙන්නට මේ මිනිහා මෙහි ගෙනාවේ, මට පිස්සන් හිඟ නිසා ද? මේ මිනිසා මගේ නිවසට ආ යුතු දැ?” යි කීවේ ය.

موجودہ انتخاب:

1 සාමුවෙල් 21: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in