1 සාමුවෙල් 19

19
සාවුල්, දාවිත් හා යොනාතාන්
1සාවුල්, තම පුත් යොනාතාන්ට හා තම සේවකයින් සියලු දෙනාට දාවිත් මරා දමන්නැයි කීවේ ය. එහෙත් සාවුල්ගේ පුත් යොනාතාන්ට දාවිත් බෙහෙවින් ප්‍රසාදජනක විය. 2එබැවින් යොනාතාන්, දාවිත් අමතමින්, “මගේ පියා, සාවුල්, ඔබ මරන්නට මාන බලයි. එබැවින් හෙට උදයේ පරෙස්සම් වන්න. රහස් තැනකට වී සැඟවෙන්න. 3එවිට මම බැද්දේ ඔබ සිටිනා තැනට අවුත්, මගේ පියා පසෙක සිට ඔහුට ඔබ ගැන කතා කරන්නම්. මට දැනගත හැකි වන දෑ මා ඔබට කියන්නම්” යැයි කීවේ ය.
4යොනාතාන් තම පියා වූ සාවුල්ට දාවිත්ගේ ගුණ කියමින්, “රජතුමා තම සේවක දාවිත්ට නපුරක් නො කෙරේවා. ඔහු ඔබතුමාට වරදක් කර නෑ. ඔහු කර ඇති දෑ ඔබට බෙහෙවින් වැඩදායකයි. 5ඔහු අර පිලිස්තීයයා මැරූ වේලේ ඔහුගේ ජීවිතයත් පරදුවට තැබුවා. ස්වාමින්වහන්සේ මුළු මහත් ඉශ්‍රායෙල්ට ඉමහත් ජයක් ගෙන දුන්නා. ඔබත් එය දැක සොම්නස් වුණා. එසේ නම්, කිසිදු හේතුවක් නැතිව දාවිත් වැනි මිනිසකු මරා, නිදොස් ලේ ගැන පව් කරන්නේ ඇයි දැ?” යි ඇසී ය.
6සාවුල්, යොනාතාන්ගේ කටහඬට සවන් දුන්නේ ය. “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, දාවිත් මරනු නො ලබන්නේ යැ” යි සාවුල් දිවුළේ ය.
7එබැවින් දාවිත්ට හඬ ගැසූ යොනාතාන් ඒ සියලු පුවත් ඔහුට සැල කළේ ය. යොනාතාන්, සාවුල් වෙත දාවිත් කැඳවාගෙන ආවේ ය. ඔහු පෙර පරිද්දෙන් සාවුල් සමඟ සිටියේ ය.
8යළිත් වරක් යුද්ධය පැන නැංගේ ය. දාවිත් පිටත් ව, පිලිස්තිවරුන් සමඟ සටන් කළේ ය. ඔහු කෙතරම් දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ද යත්, ඔවුහු ඔහු ඉදිරිපිටින් පලා ගියහ.
9පසුව ස්වාමින්වහන්සේ වෙතින් වූ දුෂ්ට ආත්මයක්#19:9 දුෂ්ට ආත්මයක් හෙවත් හානි කරන ආත්මයක් සාවුල් පිට පැමිණියේ, ඔහු තම හෙල්ලය අතේ ඇති ව තම නිවසේ හිඳ සිටියදී ය. දාවිත් වීණාව වයමින් සිටියේ ය. 10සාවුල් තම හෙල්ලයෙන් ගසා, දාවිත් බිත්තියට ම අමුණාලන්නට තැත් දැරී ය. එහෙත් සාවුල් හෙල්ලයෙන් බිත්තියට අනිද්දී ම, දාවිත් ඔහුගෙන් යාන්තමින් බේරුණේ ය; ඒ රැයේ ම දාවිත් පලා ගොස්, ගැලවුණේ ය.
11පසු දා උදයේ දාවිත් මරා දමන අදහසින් දාවිත්ගේ නිවස මුර කරන්නට සාවුල් මිනිසුන් යැවී ය. එහෙත් දාවිත්ගේ බිරිඳ වූ මීකල් ඔහුට ඒ වග දන්වමින්, “දිවි ගලවා ගන්නට අද රෑ ඔබ පැන නො ගියහොත්, හෙට උදයේ ඔබ මරා දමනු ඇතැ” යි කීවා ය. 12එබැවින් මීකල්, ජනේලයක් තුළින් දාවිත්ට පහළ බසින්නට සැලසුවා ය. ඔහු පලා ගොස්, ගැලවුණේ ය. 13මීකල් ඉන්පසු පිළිමයක් ගෙන, එය ඇඳෙහි බෑවී ය. ඇඳුමකින් එය වසා, එහි හිසට එළු ලොම් තැබී ය.
14දාවිත් අල්ලාගෙන යෑමට සාවුල් මිනිසුන් එවූ කල, “ඔහු අසනීපයෙන්” යැයි ඈ කීවා ය.
15එවිට දාවිත් බැලීමට යළි මිනිසුන් පිටත් කළ සාවුල්, “මා ඔහු මරා දමන පිණිස, ඇඳ පිටින් ම ඔහු මා වෙත ගෙනෙනු” යි කීවේ ය. 16එහෙත් මිනිසුන් පැමිණි විට මෙන්න එහි ඇඳ මත වූයේ හිස අද්දර එළු ලොමින් යුත් පිළිමයකි.
17එවිට මීකල් ඇමතූ සාවුල්, “නුඹ මෙසේ මා රවටා, මගේ හතුරාට ගැලවීගන්නට ඔහු පිටත් කර ඇරියේ මන්දැ?” යි ඇසී ය.
මීකල් පිළිතුරු දෙමින්, “ඔහු මා අමතා, ‘මට යන්නට ඉඩ දෙන්න. කුමට නුඹ මා අතින් මැරුම් කනවා ද?’ කියා මට කීවා” යි පැවසුවා ය.
18මේ අතර දාවිත් පලා ගොස්, ගැලවුණේ ය. ඔහු රාමාහි සාමුවෙල් වෙත ගොස්, තමාට සාවුල් කළ හැම දේ පැවසී ය. ඉන්පසු ඔහු ද සාමුවෙල් ද නායොත් වෙත ගොස්, එහි පදිංචි වූහ. 19“අන්න, දාවිත් රාමාහි නායොත්වල සිටිතැ” යි සාවුල්ට දන්වනු ලැබිණ. 20එබැවින් දාවිත් අල්ලා ගනු පිණිස, ඔහු මිනිසුන් යැවී ය. එහෙත් දිවැසිවර කණ්ඩායමක් දිවැසි පවසමින් ද ඔවුන්ගේ නායකයා හැටියට සාමුවෙල් සිටගෙන සිටිනු ද ඔවුන් දුටු විට, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සාවුල්ගේ මිනිසුන් පිට පහළ වී ඔවුහු ද දිවැසි වැකි පවසන්නට වන්හ. 21සාවුල්ට ඒ වග දන්වන ලදින් ඔහු තවත් මිනිසුන් එහි යැවී ය. ඔවුහු ද දිවැස් වැකි පවසන්නට වන්හ. සාවුල් යළිත්, තුන් වන වරටත් මිනිසුන් යැවී ය. ඔවුහු ද දිවැස් වැකි පවසන්නට වූහ. 22අවසානයේදී ඔහු තමා ම රාමා බලා පිටත් ව, සෙකූහි මහ ජල කටාරම වෙත ළඟා වූයේ ය. එහිදී ඔහු, “සාමුවෙල් හා දාවිත් කොහේ දැ?” යි ඇසුවේ ය.
“අන්න ඔවුන් රාමාහි නායොත්හි යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
23එබැවින් සාවුල්, රාමාහි නායොත් බලා ගියේ ය. එහෙත් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔහු පිට පවා පහළ වූයෙන්, නායොත් දක්වා පැමිණෙන තෙක්, ගමන් කරමින්, ඔහු ද දිවැසි වැකි පැවසී ය. 24සාවුල් තම ඇඳුම් ගලවා දමා, සාමුවෙල් ඉදිරියෙහි දිවැසි වැකි පවසන්නට වන්නේ ය. ඒ මුළු දවස ද රාත්‍රිය ද ඔහු එසේ නග්න ව වැටී සිටියේ ය. “සාවුලුත් දිවැසිවරුන් අතරේ දැ?” යි මිනිසුන් පවසන්නේ එබැවිනි.

موجودہ انتخاب:

1 සාමුවෙල් 19: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in