1 සාමුවෙල් 16

16
නව රජු ආලේපය
1 ස්වාමින්වහන්සේ සාමුවෙල් ඇමතූ සේක්, “මා විසින් ඉශ්‍රායෙල් කෙරෙහි රජකමින් සාවුල් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබියදී, ඔබ තව කොපමණ කල් ඔහු ගැන ශෝක වෙනවා ද? ඔබේ තෙල්-අඟ තෙලින් පුරවා ගෙන, පිටත් වන්න. බෙත්ලෙහෙම්හි යෙස්සේ වෙත මම ඔබ යවන්නෙමි. ඔහුගේ පුතුන් අතරින් මා උදෙසා රජකු තෝරා ගතිමි” යි පැවසූ සේක.
2එහෙත් සාමුවෙල්, “කොහොම ද මා යන්නේ? සාවුල්ට මේ ගැන ආරංචි වුණොත්, ඔහු මා මරාවි” යි කීවේ ය.
එවිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඔබ සමඟ වැස්සියක ද ගෙන ගොස්, ‘ස්වාමින්වහන්සේට පූජාවක් කරන්නට ආවා’ යි කියන්න. 3පූජාවට යෙස්සේටත් ඇරියුම් කරන්න. ඉන්පසු කළ යුතු දේ මා ඔබට පෙන්වා දෙන්නම්. මා ඔබට පවසන තැනැත්තා ඔබ මට ආලේප කළ යුතු යැ” යි පැවසූ සේක.
4 ස්වාමින්වහන්සේ පැවසූ පරිදි සාමුවෙල් කළේ ය. ඔහු බෙත්ලෙහෙමට ළඟා වූ කල්හි, නගර වැඩිහිටියෝ ඔහු හමුවට ආවෝ, වෙවුලන්නට වී, “ඔබ එන්නේ සාමයෙන් දැ?” යි ඇසූහ.
5සාමුවෙල් පිළිතුරු දෙමින්, “ඔව්, සාමයෙනි. මා ආවේ ස්වාමින්වහන්සේට පූජා යාග කරන්නටයි. ඔබත් පවිත්‍ර වී, මා හා යාග පූජාවට එක් වෙන්නැ” යි කීවේ ය. ඉන්පසු යෙස්සේ ද ඔහුගේ පුතුන් ද පවිත්‍ර කර වූ ඔහු, යාග පූජාවට ඔවුන් ද කැඳවී ය.
6ඔවුන් පැමිණි කල, එලියාබ් දුටු සාමුවෙල්, “ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දා ස්වාමින්වහන්සේ අබියස මෙහි සිටිතැ” යි සිතී ය.
7එහෙත්, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “ඔහුගේ පෙනුම ගැන හෝ ඔහුගේ සිරුරේ උස ගැන හෝ සැලකිල්ලට නො ගන්න. මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කළෙමි. ස්වාමින්වහන්සේ බලන්නේ මිනිසා බලන ලෙසින් නො වේ. මිනිසා බලන්නේ පිටස්තර පෙනුම ය. එහෙත් ස්වාමින්වහන්සේ බලන්නේ හදවත යැ” යි පැවසූ සේක.
8යෙස්සේ ඉන්පසු අබිනාදාබ් කැඳවා, සාමුවෙල් ඉදිරිපිටින් යන්නට සැලැස්වී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. 9යෙස්සේ ඉන්පසු ෂම්මා යැවී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. 10යෙස්සේ, මෙසේ තම පුතුන්ගෙන් හත්දෙනකු සාමුවෙල් ඉදිරිපිටින් යැවී ය. එහෙත්, “ස්වාමින්වහන්සේ මොවුන් තෝරා නො ගත් සේකැ” යි ඔහු පැවසී ය. 11සාමුවෙල් එබැවින් යෙස්සේ අමතමින්, “ඔබට සිටින පුතුන් හැම මෙපමණ දැ?” යි ඇසී ය.
යෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉන්නේ බාලයායි. එහෙත් අන්න! ඔහු සිටින්නේ බැටළුවන් බලා ගනිමින්” යැයි කීවේ ය.
“පණිවුඩ යවා, ඔහු ගෙන්වන්න. ඔහු එන තුරු අප වාඩිවන්නේ නැතැ” යි සාමුවෙල් පැවසී ය.
12එබැවින් ඔහු පණිවුඩ යවා, ඔහු ගෙන්වී ය. ඔහු රත් පැහැයෙන් යුතු, දීප්තිමත් ඇස් ඇති කඩවසම් කෙනකු විය.
එවිට ස්වාමින්වහන්සේ, “නැගිට, ඔහු ආලේප කරන්න. පුද්ගලයා ඔහුයි” කී සේක.
13එබැවින් සාමුවෙල් තෙල්-අඟ ගෙන, ඔහුගේ සහෝදරයින් ඉදිරියෙහි ඔහු ආලේප කළේ ය. ඒ දවසේ පටන් ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ බලයෙන් යුක්ත ව දාවිත් මත පහළ වූ සේක. ඉන්පසු සාමුවෙල්, රාමා බලා පිටත් ව ගියේ ය.
සාවුල්, දාවිත් ගෙන්වීම
14මේ අතර ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් සාවුල් වෙතින් බැහැර ව ගොස් තිබිණ. ස්වාමින්වහන්සේගෙන් වූ හානි කරන ආත්මයක්#16:14 හානි කරන ආත්මයක් හෙවත් නපුරු ආත්මයක් 15, 16 හා 23 යන පදවල ද එසේ ම ය. ඔහුට පීඩා කළේ ය.
15එවිට සාවුල් ඇමතූ ඔහුගේ සේවකයෝ, “බලන්න! දෙවියන්වහන්සේගෙන් වූ නපුරු ආත්මයක් ඔබට පීඩා කරයි. 16එබැවින් වීණා වාදනයට දක්ෂයකු සොයන ලෙසට අපගේ ස්වාමියා මෙහි සිටින ඔබගේ සේවකයනට අණක් දෙන්න. එවිට දෙවියන්වහන්සේගෙන් වූ නපුරු ආත්මය ඔබ පිට පැමිණි විටෙක, ඔහු වාදනය කරනු ඇත. එවිට ඔබට පහසුව දැනෙනු ඇතැ” යි කීහ.
17එබැවින් සාවුල් සිය සේවකයින් අමතා, “හොඳින් වාදන කරන කෙනකු සොයා, ඔහු මා වෙත කැඳවාගෙන එන්නැ” යි කීවේ ය.
18එවිට තරුණයින්ගෙන් කෙනෙක් පිළිතුරු දෙමින්, “අන්න! බෙත්ලෙහෙමීය යෙස්සේගේ පුතකු දක්ෂ ලෙස වයනු මා දැක තියෙනවා. ඔහු එඩිතරයි; රණවිරුවෙක්; කතාවට චතුරයෙක්. කඩවසම් මිනිහෙක්. තවද ස්වාමින්වහන්සේ ඔහු සමඟ වන සේකැ” යි කීවේ ය.
19එබැවින් සාවුල්, යෙස්සේ වෙත පණිවුඩකරුවන් යවමින්, “බැටළුවන් සමඟ සිටින නුඹේ පුත්‍ර දාවිත් මා වෙත එවනු” යි දැන්වී ය. 20එවිට යෙස්සේ, බූරුවකු පිට රොටි ද සම්-බඳුනක මිදි යුෂ ද එළු වස්සකු ද පටවා, තම පුත් දාවිත් අත සාවුල් වෙත යැවී ය.
21දාවිත්, සාවුල් වෙත පැමිණ, සාවුල්ගේ සේවයට ඇතුළත් විය. සාවුල් බොහෝ සෙයින් ඔහුට ප්‍රේම කළේ ය. ඔහු සාවුල්ගේ අවි දරන්නා බවට පත් විය. 22සාවුල්, යෙස්සේ වෙත පණිවුඩ යවමින්, “දාවිත් මගේ සේවයෙහි රැඳී සිටීවා. මන්ද ඔහු මගේ ප්‍රසන්නතාව දිනා ඇතැ” යි දැන්වී ය.
23දෙවියන්වහන්සේ වෙතින් වූ එම ආත්මය සාවුල් වෙත පැමිණි කල, දාවිත් තම වීණාව අතින් ගෙන, වාදන කරයි. එවිට සාවුල්ට සහනය දැනේ. ඔහුට පහසුව දැනේ. එවිට නපුරු ආත්මය ඔහු හැර යයි.

موجودہ انتخاب:

1 සාමුවෙල් 16: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in