1 සාමුවෙල් 11
11
සාවුල් විසින් යාබේෂ් පුරය ගැලවීම
1අම්මොනීය නාහාෂ් අවුත්, යාබේෂ්-ගිලියාද් වටලා ගත්තේ ය. එවිට යාබේෂ්-ගිලියාද්හි සියලු මිනිස්සු නාහාෂ්ට කතා කොට, “අප සමඟ ගිවිසුමක් කරන්න; එවිට අපි ඔබට සේවය කරන්නෙමු” යි කීහ.
2එහෙත් අම්මොන්වර නාහාෂ් පිළිතුරු දෙමින්, “මෙම කොන්දේසිය මත පමණක් මම නුඹලා සමඟ ගිවිසුමක් කරන්නම්. මුළු ඉශ්‍රායෙල් පිට නිග්‍රහය ගෙනෙන පිණිස මා නුඹලා හැමකකුගේ දකුණු ඇස උගුලන්නෙමි” යි කීවේ ය.
3යාබේෂ් වැඩිහිටියෝ ඔහුට පිළිතුරු දෙමින්, “අපට හත් දවසක් කල් දෙන්න මුළු ඉශ්‍රායෙල් භූමිය පුරා පණිවුඩකරුවන් යවන පිණිස. අප මුදා ගන්නට කිසිවකු නො වූවොත්, අප ඔබට යටත් වෙනවා” යි කීහ.
4පණිවුඩකරුවන් සාවුල් සිටි ගිබෙයා වෙත පැමිණ, එම කාරණය ජනයාට සැල කළ විට, ඔවුහු සියල්ලෝ හඬ නගා වැලපෙන්නට වන්හ. 5මෙන්න! එවිට ම සාවුල් කෙත් වත්හි සිට තම ගවයන් පිටුපසින් පැමිණියේ ය. “මොකක් ද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? ඔවුන් සැවොම හඬා-වැටෙන්නේ මන්දැ?” යි සාවුල් ඇසී ය. එවිට ඔවුහු යාබේෂ් වැසියන් පැවසූ දෑ ඔහුට පැවසූහ.
6එවදන් ඇසූ සාවුල් මත දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තරයේ ම පැමිණියෙන්, ඔහුගේ කෝපය දැඩි ව ඇවුළුණේ ය. 7ගවයින් දෙදෙනකු ගත් ඔහු, කැබලිවලට උන් කපා, ඉශ්‍රායෙල් දේශය පුරා පණිවුඩකරුවන් අත එම කැබලි යවමින්, “සාවුල් හා සාමුවෙල් පසු පස නො එන කවරකුගේ වුව ගවයින්ට මෙසේ කරනු ලැබේ යැ” යි නිවේදන කළේ ය. ස්වාමින්වහන්සේගේ භීතිය, එවිට ජනයා පිට පතිත වූයෙන්, ඔවුහු එකාවන් ව පිටත් ව ආහ. 8ඔහු බෙසෙක්හි ඔවුන් පෙළ ගැස්වූ කල, ඉශ්‍රායෙල්වරු ගණනින් තුන් ලක්ෂයක් ද යූදාවරු තිස්දහසක් ද එහි වූහ.
9අවුත් සිටි පණිවුඩකරුවන් ඇමතූ ඔවුහු, “යාබේෂ්-ගිලියාද් වාසීන්ට මෙසේ කියන්න: ‘හෙට හිරු උණුසුම් වන වේලාව වන විට නුඹලා මුදා ගනු ලැබේ යැ’ යි” කීහ. පණිවුඩකරුවන් ආපසු ගොස්, යාබේෂ් වාසීන්ට ඒ වග සැල කළ විට ඔවුහු ප්‍රමෝදයට පත් වූහ. 10එබැවින් යාබේෂ් වාසීහු අම්මොන්වරුන්ට කතා කොට, “හෙට අප ඔබ වෙත එනවා; එවිට හොඳ යැයි ඔබට පෙනෙන කවරක් වුව අපට කරන්නට ඔබට පුළුවනැ” යි පැවසූහ.
11පසුව දා සාවුල් තමාගේ මිනිසුන් කණ්ඩායම් තුනකට බෙදී ය. අලුයම් යාමයේ අම්මොන් කඳවුරට කඩා වැදුණු ඔවුහු, මහ මද්දහන දක්වා අම්මොන්වරුන් ගසා හෙළූහ. ඔවුන්ගෙන් දෙදෙනකු හෝ එකට නො සිටින පිණිස, නො මැරී ඉතිරි වූවෝ විසුරුවා හරින ලදහ.
සාවුල් රජ වශයෙන් ස්ථිර කිරීම
12ඉන්පසු ජනයා සාමුවෙල්ට කතා කොට, “ ‘සාවුල් අප කෙරේ රජකම් කරන්නේ දැ?’ යි ඇසුවෝ කවුරු ද? ඒ මිනිසුන් අප වෙත ගෙනෙන්න. අපි උන් මරා දමන්නෙමු” යි කීහ.
13එහෙත් සාවුල් පිළිතුරු දෙමින්, “කිසිවකුවත් අද මරණයට පත් කරන්නේ නැත. මන්ද අද දවසේ ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ගැලවීම සැලසූ සේකැ” යි පැවසී ය.
14ඉන්පසු සාමුවෙල් ජනතාව අමතමින්, “එමු! අපි ගිල්ගාල්ට ගොස්, රජකම යළි ස්ථිර කරමු” යි පැවසී ය. 15එබැවින් ජනයා සියල්ලෝ ගිල්ගාල් වෙත ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරියේ සාවුල්, රජු වශයෙන් ස්ථිර කළහ. එහිදී ඔවුහු ස්වාමින්වහන්සේ ඉදිරියේ ශාන්ති පූජා යාග කළහ. සාවුල් හා මුළු ඉශ්‍රායෙල් ජනයා එහිදී අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූහ.
موجودہ انتخاب:
1 සාමුවෙල් 11: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.