රෝම 12

12
ජීවමාන යාගයක්
1එබැවින් සහෝදරයිනි, දෙවියන්වහන්සේගේ දයාවන් හමුවේ මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබගේ ශරීර ශුද්ධ වූත්, දෙවියන්වහන්සේට ප්‍රිය ප්‍රසන්න වූත් ජීවමාන යාගයක් ව දෙවියන්වහන්සේට පිළිගන්වන ලෙසයි. ඔබේ ආත්මික නමස්කාරය එයයි. 2තවදුරටත් මේ ලෝකයේ ගති-පිළිවෙලට අනුකූල නො වී, ඔබේ මනස අලුත් කර ගැනීමෙන් වෙනස් ආකාර වන්න. දෙවියන්වහන්සේගේ කැමැත්ත, යහපත් වූත්, ප්‍රිය ප්‍රසන්න වූත්, පරිපූර්ණ වූත් කැමැත්ත කුමක් දැයි ඔබට ම පරීක්ෂා කර, අනුමත කර ගත හැකි වන්නේ එවිට ය.
ක්‍රිස්තුස්වහන්සේ තුළ යටහත් සේවය
3මට දෙන ලද අනුග්‍රහයට අනුව ඔබ හැම කෙනකුට ම මා කියන්නේ, යුතු පමණට වඩා තමන් ගැන උතුම් කොට නො සිතා, දෙවියන්වහන්සේ ඔබට බෙදා දෙන ලද ඇදහිල්ලේ ප්‍රමාණයට අනුව, මධ්‍යස්ථ විනිශ්චයෙන්, තමන් ගැන සිතන්න කියා ය. 4අපට ඇති එක සිරුරේ බොහෝ අවයව ඇතත්, ඒ අවයවයනට ඇත්තේ එක ම කාර්ය භාරයක් නො වන පරිදි, 5අපත් බොහෝ දෙනකු නමුදු, ක්‍රිස්තුස්වහන්සේ තුළ එක ශරීරයක් ව, අන්‍යෝන්‍ය අවයව වේ. 6අපට දෙන ලද අනුග්‍රහයට අනුව අප එකිනෙකාට ඇති දීමනා විවිධ ය. කෙනකුගේ දීමනාව දිවැස් වැකි පැවසීම නම්, තම ඇදහිල්ලේ ප්‍රමාණය අනුව භාවිත කරත්වා. 7එය සේවය කිරීම නම්, සේවය කිරීමෙහි යෙදෙත්වා. ඉගැන්වීම නම්, ඉගැන්වීමෙහි නිරත වේවා, 8එය, දිරිගැන්වීම නම්, දිරිගන්වත්වා. ආධාර දෙන්නා, ත්‍යාගශීලී ව දෙත්වා. නායකත්වය දෙන්නා උද්යෝගිමත් ව ඒ කටයුතු කරත්වා. දයාව දක්වන්නා සතුටු සිතින් එසේ කරත්වා.
ප්‍රායෝගික ප්‍රේමය
9ප්‍රේමය අව්‍යාජ වේවා. නපුර පිළිකුල් කරන්න; යහපත වැලඳගන්න. 10සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම වන්න; අන් අය තමනට වඩා ගරු කොට සලකන්න. 11ජ්වලිත බවින් කිසි විටෙකත් හීන නො වී, ආත්මයෙන් උද්යෝගී ව ස්වාමින්වහන්සේට සේවය කරන්න. 12බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න. පීඩාවන්හි දී ඉවසිලිමත් වන්න. යාච්ඤාවෙහි නිරත වන්න. 13ශුද්ධවතුන්ගේ අවශ්‍යතාහි දී ආධාර-උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.
14ඔබට පීඩාකරන්නන්ට ආශිර්වාද කරන්න; ශාප නො කර, ආශිර්වාද කරන්න. 15ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න. ශෝක වන්නන් සමඟ ශෝක වන්න. 16එකිනෙකා හා සමඟියෙන් ජීවත් වන්න. අහංකාර නො වන්න. යටහත් අය සමඟ ඇසුරු කරන්න. ඔබ ප්‍රඥාවන්ත යයි සිතා උඩඟු නො වන්න.
17කිසිවකුටත් නපුරට-නපුර නො කරන්න. හැමෝම ඉදිරියේ ගරු කටයුතු දේ ම කරන්නට සිතට ගන්න. 18හැකි පමණින්, හැම කෙනකු සමඟ සාමයෙන් වෙසෙන්න. 19ප්‍රේමණීයයනි, පළි ගැනීමට නො යන්න; මන්ද, “පළි ගැනීම මා සතු ය. මම විපාක දෙන්නෙමි”#12:19 ද්වි 32:35 යි ස්වාමින්වහන්සේ කියන සේකැයි ලියා ඇති බැවින්, එය දෙවියන්වහන්සේගේ උදහසට ඉඩ හරින්න. 20අනෙක් අතට,
“ඔබගේ සතුරාට සාගිනි නම්, කන්නට දෙන්න;
පිපාස නම්, බොන්නට දෙන්න.
එසේ කිරීමෙන්, ඔබ ඔහුගේ හිස පිට ගිනි ඇවිළෙන අඟුරු ගොඩ ගසන්නේ ය.”#12:20 හිතෝප 25:21,22
21නපුරට ඔබ පරදවන්න නො දී, යහපත මගින් නපුර පරදවන්න.

Seçili Olanlar:

රෝම 12: SCV

Vurgu

Kopyala

Karşılaştır

Paylaş

None

Önemli anlarınızın tüm cihazlarınıza kaydedilmesini mi istiyorsunuz? Kayıt olun ya da giriş yapın