යෝනා 1

1
පලා යෑම හා කුණාටුව
1 ස්වාමින්වහන්සේගේ වචනය, අමිත්තයිගේ පුත් යෝනා වෙත පැමිණියේ ය: 2“නැගිට, නිනිවය මහ-පුරවරයට ගොස්, ඊට එරෙහිව දේශනා කරන්න. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් මා ඉදිරියට නැග ඇවිදින් යැ” යි ඉන් කියැවිණ.
3එහෙත් යෝනා නැගිට, ස්වාමින්වහන්සේ අබියසින් තර්ෂිෂ් බලා පලා යන්නට ගියේ ය. යොප්පාවට බැස ගිය ඔහුට තර්ෂිෂ් බලා යන නැවක් මුණ ගැසිණි. නැව් ගාස්තුව ගෙවූ ඔහු, ස්වාමින්වහන්සේ අබියසින් ඈත්වන පිණිස, ඔවුන් සමඟ තර්ෂිෂ් බලා යන්නට නැව තුළට බැස ගියේ ය.
4එවිට ස්වාමින්වහන්සේ මුහුද පිටට මහා සුළඟක් එවූ සේක. එයින් කොපමණ බිහිසුණු කුණාටුවක් හට ගත්තේ ද යත්, නැව බිඳී යන්නට තරම් විය. 5එවිට නැවියෝ බියපත් වූවෝ, හැම කෙනෙක් ම තම තමාගේ දෙවිවරුනට කන්නලව් කරන්නට වන්හ. නැව සැහැල්ලු කරන්නට ඔවුහු නැවෙහි වූ නැව් බඩු මුහුදට වීසි කළහ.
එහෙත් යෝනා නැවේ පහළ තට්ටුවට බැස, හාන්සි වී, තද නින්දට වැටී හුන්නේ ය. 6එබැවින් නැව්පතියා අවුත්, “කොහොම ද ඔබ නිදා ඉන්නේ? නැගිටින්න. ඔබේ දෙවියන්ට කන්නලව් කරන්න. ඇතැම් විට අප වැනසී නො යන පිණිස, එතුමන් අප ගැන සලකනු ඇතැ” යි කීවේ ය.
7ඉන්පසු නැවියෝ, එකිනෙකා අමතමින්, “එමු; මේ විපත්තියට වගකිව යුත්තා කවුරුදැයි දැනගන්නට අපි පස ඇට දමමු” යි කීහ. ඔවුහු එසේ පස ඇට දැමූහ. පස ඇටය වැටුණේ යෝනාට ය. 8එවිට ඔවුහු ඔහු අමතා, “මේ කරදර අප පිට ආවේ කවුරුන් නිසා දැයි අපට කියනු! මොකක් ද නුඹේ රැකියාව? නුඹ එන්නේ කොහේ සිට ද? නුඹ කුමන රටේ ද? කුමන ජාතියේ දැ?” යි ඇසූහ.
9යෝනා පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව්වෙක්මි; මුහුදත්, ගොඩ බිමත් මැවූ ස්වර්ගයේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්මි” යි කීවේ ය.
10එයින් අතිශය භයට පත් ඔවුහු, “මොකක් ද මේ නුඹ කළේ?” යි ඇසූහ. ඔහු ස්වාමින්වහන්සේ අබියසින් පලා යමින්, සිටින වග, ඔවුහු දැන සිටියහ. ඒ වග, ඔහු ඔවුනට කියා තිබිණි.
11එබැවින් ඔවුහු, “මුහුද අපට නිශ්චල වන පිණිස, අප ඔබට කුමක් කළ යුතු දැ?” යි ඔහුගෙන් ඇසූහ. මන්ද මුහුද වඩ වඩා ප්‍රචණ්ඩ වෙමින් තිබිණි.
12“මා ඔසවා, මුහුදේ හෙළන්න. එවිට මුහුද නිශ්චල වේවි. මේ මහ කුණාටුවට ඔබ හසු වූයේ, මා නිසා වග මම දනිමි” යි ඔහු කීවේ ය.
13කෙසේ වුව ද නැව ආපසු ගොඩට පද වන්නට ඒ මිනිස්සු මහත් වෙහෙසක් දරා, හබල් ගෑහ. එහෙත් එය කළ හැකි නො වූයේ, ඔවුන්ට එරෙහිව මුහුද වඩ වඩා ප්‍රචණ්ඩ වූ බැවිනි. 14එබැවින් ඔවුහු ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මේ මිනිසාගේ ජීවිතය නිසා, අප විනාශ වන්නට ඉඩ නෑරිය මැනව. නිදොස් ලේ ගැන අප වරදකරුවන් නො කළ මැනවි. මන්ද අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ක්‍රියා කර ඇත්තේ ඔබට මනාප පරිද්දෙනි” යි කීහ. 15ඉන්පසු ඔවුහු යෝනා අල්ලා, මුහුදේ හෙළූහ. එවිට මුහුදේ සැඩගතිය නැවතිණි. 16එවිට ඒ මිනිස්සු ස්වාමින්වහන්සේට අතිශය භය වූවෝ, ස්වාමින්වහන්සේට පූජාවක් ඔප්පු කොට, බාර වූහ.
යෝනාගේ යැදුම
17එහෙත් ස්වාමින්වහන්සේ, යෝනා ගිලින පිණිස, යෝධ මත්ස්‍යයකු නියම කළ සේක. යෝනා ඒ මත්ස්‍යයාගේ කුස තුළ දහවල තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.

ప్రస్తుతం ఎంపిక చేయబడింది:

යෝනා 1: SCV

హైలైట్

షేర్ చేయి

సరిపోల్చండి

కాపీ

None

మీ పరికరాలన్నింటి వ్యాప్తంగా మీ హైలైట్స్ సేవ్ చేయబడాలనుకుంటున్నారా? సైన్ అప్ చేయండి లేదా సైన్ ఇన్ చేయండి