YouVersion logo
Dugme za pretraživanje

ලූක් 15

15
නැති වූ බැටළුවා
1තවද බදු අය කරන්නන් හා පව්කරුවන් යන හැම උන්වහන්සේට සවන් දෙන්නට උන්වහන්සේ වටා රොක්වන්නට වූහ. 2එවිට පරිසිවරු හා දහම් පඬිවරු, “මොහු පව්කාරයින් පිළිගෙන, ඔවුන් සමඟ කෑමත් කනවා” යි මැසිවිලි කීහ.
3එබැවින් උන්වහන්සේ ඔවුන්ට මෙම උපමා කතාව කී සේක: 4“බැටළුවන් සියයක් සිටියදී, ඉන් එකකු නැති වුවහොත්, ඉතිරි අනූනව දෙනා එළිමහනේ හැර, නැති වූ එකා හමුවන තෙක් ඌ සොයා නො යන්නේ ඔබ අතරින් කවර මිනිහා ද? 5ඉදින් ඌ හමු වූ විට, ඔහු ප්‍රීතියෙන් ඉපිල, ඌ කර තබා, 6ගෙදර ගෙනවුත්, මිතුරන් හා අසල්වාසීන් කැඳවා, ‘මා හා ප්‍රීති වන්න; මන්ද නැති වූ මගේ බැටළුවා සම්භ වුණා’ යි කියයි. 7එපරිදි, පසුතැවිල්ල ඕනෑ නැති ධර්මිෂ්ඨයින් අනූනව දෙනකුට වඩා, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන බව මම ඔබට කියමි.
නැති වූ රිදී කාසිය
8“නොහොත්, රිදී කාසි දහයක්#15:8 එකක වටිනාකම දිනක වැටුපකි. ඇති ව සිටියදී ඉන් එකක් නැති වුවහොත්, පහනක් දල්වා, ගෙය අතු ගා, එය හමුවන තුරු හැම අස්සක, මුල්ලක එය නො සොයා ඉන්නේ කවර ස්ත්‍රිය ද? 9එය හමු වූ කල, ඈ ඇගේ මිතුරන් හා අසල්වාසීන් කැඳවා, ‘මා හා ප්‍රීති වන්න; නැති වූ මගේ කාසිය සම්භ වුණා’ යි කියයි. 10එපරිදි ම, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන, දේව දූතයින් ඉදිරියේ ප්‍රීතියක් ඇති වග මම ඔබට කියමි” යි පැවසූ සේක.
නැති වූ පුත්‍රයා
11උන්වහන්සේ තවදුරටත් කතා කරමින්, “එක් මිනිසකුට පුතුන් දෙදෙනෙක් සිටියා. 12ඔවුන්ගෙන් බාලයා තම පියා අමතා, ‘පියාණෙනි, ඔබගේ දේපොළවලින් මට හිමි කොටස මට පවරා දෙන්නැ’ යි ඉල්ලා සිටියා. එවිට පියා ඔවුන් අතර තම දේපළ බෙදා දුන්නා.
13“නොබෝ දිනකින් බාල පුත්‍රයා, තමන් සතු සියල්ල එකතු කර ගෙන, ඈත එපිට රටකට ගොස්, දුසිරිතෙහි ගැලෙමින්, තම ධනය නැති නාස්ති කර ගත්තා. 14ඔහු තමන් සන්තක සියල්ල වියදම් කළ පසු, ඒ රට මුළුල්ලේ දැඩි සාගතයක් ඇති වුණා. ඔහුට ද අග හිඟ දැනෙන්නට වුණා. 15එබැවින් ඔහු එරට පුරවැසියකු ළඟ සේවකයකු ලෙස බැඳුණා. ඔහුගේ ගොවිපළේ ඌරන්ට කවන්නට ඔහු යවනු ලැබුවා. 16ඌරන් කන කරල්වලින් තම කුස පුරවාගන්නට ඔහු කැමති වුණා; කිසිවකු ඔහුට කිසිවක් ම දුන්නේ නෑ.
17“ඔහු හරි සිහි කල්පනාවට පැමිණ, ‘මගේ පියාගේ කුලී වැඩකරුවන් එපමණ දෙනකුට ඕනෑවටත් වඩා ආහාර තියෙද්දී, මා මෙහෙ හාමතේ නැහෙනවා. 18මා නැගිට, මගේ පියාණන් වෙත ගොස්, පියාණෙනි, ස්වර්ගයට විරුද්ධ ව හා ඔබ ඉදිරියේ මා පව් කර තියෙනවා. 19තවදුරටත් ඔබගේ පුත්‍රයා ය කියන්නට තරම් මා වටින්නේ නෑ; ඔබගේ කුලී වැඩකාරයකු ලෙස මා ගණන් ගන්නැයි ඔහුට කියනවායි කියා ගත්තා.’ 20එපරිදි ඔහු නැගිට, පියා වෙත පිටත් වුණා.
“ඔහු ආපසු එනු දුර තියාම දුටු ඔහුගේ පියා, අනුකම්පාවෙන් යුතු ව ඔහු වෙත දුව ගොස්, ඔහු වැලඳ, සිප ගත්තා.
21“එවිට පුත්‍රයා කතා කරමින්, ‘පියාණෙනි, මා ස්වර්ගයට විරුද්ධ ව හා ඔබ ඉදිරියේ පව් කළා. තවදුරටත් ඔබේ පුත්‍රයා යැයි කියන්න මා වටින්නේ නෑ’ යි කීවා.
22“එහෙත් පියා තම සේවකයින්ට කතා කොට, ‘ඉක්මන් කර හොඳ ම කබාය ගෙනැවිත්, මොහුට හඳවන්න. මුදුවක් මොහුගේ ඇඟිල්ලේ දමන්න. පාවහන් දෙපයට දමන්න. 23පුෂ්ටිමත් හරකා ගෙනැවිත්, මරා, රස බොජුන් පිළියෙල කරන්න. අපි කාලා ප්‍රීති වෙමු. 24මන්ද මගේ මේ පුත්‍රයා මැරී, යළි ජීවත් ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා. මෙසේ ඔවුහු ප්‍රීති වන්නට වුණා.
25“මේ අතර කෙතේ සිටි ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ආපසු එමින් නිවසට ළං වෙද්දී, නැටුම් හා සංගීත නාදය අසන්නට ලැබුණා. 26ඔහු සේවකයකුට අඬගසා, සිදු වන්නේ කුමක් දැයි ඇසුවා. 27ඔහු පිළිතුරු දෙමින්, ‘ඔබේ සහෝදරයා ඇවිදින්; ඔබේ පියා පුෂ්ටිමත් වස්සා මැරුවා. එසේ කළේ ඔහු සුරැකි ව, සුව සේ යළි හමු වූ බැවිනැ’ යි කීවා.
28“එහෙත් ඔහු කෝප ව, ගෙට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළා. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඔහුට ආයාචනා කළා. 29එවිට ඔහු පියා අමතමින්, ‘බලන්න! මේ තරම් අවුරුදු ගණනක් මා ඔබට වැඩ කළා. කිසිදාක ඔබේ අණට අකීකරු වුණේ නෑ; එහෙත්, මගේ මිතුරන් හා විනෝද වීමට කිසි දවසක එක එළු පැටවකුවත් ඔබ මට දී නෑ. 30එහෙත්, වේශ්‍යාවන් සමඟ ඔබේ ධනය කා දැමූ ඔබේ මේ පුත්‍රයා ආ කල, ඔබ පුෂ්ටිමත් ම වස්සා ඔහු උදෙසා මැරෙව්වා’ යි කීවා.
31“එවිට පියා ඔහු අමතමින්, ‘පුත, නිතර ම ඔබ මා සමඟයි. මට ඇති හැම දේත් ඔබගෙයි. 32එනමුත් ප්‍රීතිවීම අපට යුතුයි. මන්ද ඔබේ මේ සහෝදරයා මැරී, යළි ජීවත් ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා” යි කී සේක.

Trenutno izabrano:

ලූක් 15: SCV

Istaknuto

Podeli

Uporedi

Kopiraj

None

Želiš li da tvoje istaknuto bude sačuvano na svim tvojim uređajima? Kreiraj nalog ili se prijavi

Video za ලූක් 15