YouVersion logo
Dugme za pretraživanje

උත්පත්ති 37

37
යෝසෙප්ගේ සිහින
1යාකොබ්, තම පියා නැවතී සිටි දේශය වන කානාන් දේශයේ වාසය කළේ ය.
2යාකොබ්ගේ පරපුර පිළිබඳ තොරතුරු මෙසේ ය.
දහහත් හැවිරිදි තරුණයකු වූ යෝසෙප් තම සහෝදරයින් සමඟ, තම පියාගේ භාර්යාවන් වූ බිල්හාගේත්, සිල්පාගේත් පුතුන් සමඟ එළු බැටළු රංචු බලා ගත්තේ ය. ඔහු ඔවුන් ගැන නරක වාර්තාවක්, තම පියා වෙත ගෙනාවේ ය.
3ඉශ්‍රායෙල් තමාගේ අන් හැම පුතකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කළේ ය. ඒ, තමාගේ මහලු වයසේ උපන් පුත්‍රයා ඔහු බැවිනි. එබැවින් ඔහු නා නා වර්ණ කබායක් ඔහුට සාදවා දුන්නේ ය. 4තම පියා තමන් කවරකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කරන වග දුටු ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළෝ, එක් වචනයකුදු කාරුණික ව ඔහුට කතා කිරීමට අපොහොසත් වූහ.
5යෝසෙප් සිහිනයක් දුටුවේ ය. ඔහු තම සහෝදරයින්ට එය පැවසූ කල, ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර කරන්නට වූහ. 6ඔහු ඔවුන් අමතමින්, “මේ අහන්න! මා දුටු සිහිනය මෙයයි: 7අපි කෙතේ ගොයම් මිටි බඳිමින් හිටියා. මෙන්න! එකපාරට ම මගේ ගොයම් මිටිය නැගිට, කෙළින් අතට සිටගත්තා. එවිට ඔබේ ගොයම් මිටි, මගේ මිටිය වටේට රැස් වී, ඊට වැඳ වැටුණා යැ” යි පැවසී ය.
8එවිට ඔහුගේ සහෝදරයෝ කතා කරමින්, “සැබවින් ම අපට රජකම් කරන්න ද කල්පනාව? ඇත්තෙන් ම අප පාලනය කරන්න ද යන්නේ?” යි කීහ. ඔහුගේ සිහින නිසාත්, ඔහුගේ වචන නිසාත් ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර බඳින්නට වූහ.
9පසුව, ඔහු තවත් සිහිනයක් දුටුවේ ය. ඔහු එය ද තම සහෝදරයින්ට කීවේ ය. “මේ අහන්න. මා තවත් සිහිනයක් දැක්කා. මෙන්න, හිරුත්, සඳුත්, තරු එකොළහකුත් මට වැඳ වැටුණා” යි කී ය.
10ඔහු තම සහෝදරයින්ට මෙන් ම තම පියාටත් එය කී කල, ඔහුගේ පියා ඔහුට තරවටු කරමින්, “මොකක් ද මේ නුඹ දුටු සිහිනය? මාත්, නුඹේ මවත්, නුඹේ සහෝදරයනුත් ඇත්තට ම නුඹ ඉදිරියේ බිම වැටී වඳිනවා දැ?” යි ඇසී ය. 11ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කරන්නට වූහ. එහෙත් ඔහුගේ පියා එය සිත්හි තබා ගත්තේ ය.
තම සහෝදරයින් විසින් යෝසෙප් විකුණනු ලැබීම
12ඔහුගේ සහෝදරයෝ තම පියාගේ එළු බැටළු රංචු තණ කවන පිණිස ෂෙකෙම් අසල පෙදෙසට ගියහ. 13ඉශ්‍රායෙල් යෝසෙප්ට කතා කොට, “ඔබේ සහෝදරයින් ෂෙකෙම් අසල පෙදෙසේ එළු බැටළු රංචු තණ කවනවා නො වේ ද? එන්න! මා ඔවුන් වෙතට නුඹ යවනවා” යි කීවේ ය.
“මම සූදානම් යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
14එබැවින් ඔහු, “දැන් ගොසින්, ඔබේ සහෝදරයින්ගේ සුව දුක් බලා, එළු බැටළු රංචුත් කෙසේදැයි බලා, ආපසු ඇවිත්, මට තොරතුරු දන්වන්නැ” යි කීවේ ය. මෙසේ ඔහු හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු පිටත් කර යැවී ය.
යෝසෙප් ෂෙකෙම් වෙත පැමිණියේ ය. 15ඔහු එහි තැන්නේ ඒ මේ අත ඇවිදිනු දුටු එක් මිනිහෙක් ඔහු අමතමින්, “මොනවද ඔබ සොයන්නේ?” යි ඇසී ය.
16ඔහු පිළිතුරු දෙමින්, “මා සොයන්නේ මගේ සහෝදරයින්. ඔවුන් කොතැනක රංචුවලට තණ කවනවා ද කියා ඔබට කිව හැකි දැ?” යි ඇසී ය.
17ඒ මිනිසා පිළිතුරු දෙමින්, “ඔවුන් මෙහෙන් පිටත් ව ගියා. ‘අපි දොතාන් බලා යමු’ යි ඔවුන් කියනවා මට ඇසුණා” යි කීවේ ය.
එබැවින් යෝසෙප් තම සහෝදරයින් ගිය දෙසට ගියේ ය. දොතාන් අසලදී ඔහුට ඔවුන් හමු විය. 18එහෙත් ඈතදීම ඔහු එනු දුටු ඔවුහු, තමන් අසලට ඔහු එන්නටත් පෙර, ඔහු මරා දැමීමට කුමන්ත්‍රණ කළහ.
19ඔවුහු එකිනෙකා අමතමින්, “මෙන්න එනවා ස්වප්නකාරයා! 20දැන් වරෙල්ලා, ඔහු මරා, මේ වළක දමා, වන මෘගයකු ඔහු කා දැමුවා යැයි කියමු. එවිට, ඔහුගේ ස්වප්නවලට කුමක් වේ දැයි බලමු” යි කතිකා කර ගත්හ.
21එහෙත් රූබෙන් ඒ ඇසූ කල, ඔවුන් අතින් ඔහු බේරා ගැනීමට තැත් දරමින්, “ඔහුගේ ජීවිතයට හානියක් නො කර සිටිමු. 22ලේ වගුරු වන්න එපා. මේ පාළුකරයේ මේ වළට ඔහු තල්ලු කරපල්ලා. ඒත්, ඔහුගේ ජීවිතයට අත නො තියල්ලා” යි කීවේ ය. රූබෙන් එසේ කීවේ පසුව මොවුන් අතින් ඔහු මුදා, තම පියා වෙත ඔහු ආපසු ගෙන යෑමේ අටියෙනි.
23මෙසේ යෝසෙප් තම සොහොයුරන් වෙත ආ කල්හි, ඔහු ඇඟ ලා සිටි වර්ණවත් කබාය ඇද, ගැලවූ ඔවුහු 24ඔහු අල්ලා, එහි වූ වළට තල්ලු කළහ. ඒ වළ පාළු එකකි; එහි වතුර නො වී ය.
25ඉන්පසු ඔවුහු කෑමට හිඳ ගත්හ. තවද ඔවුහු නෙත් ඔසවා බැලූ කල, ගිලියාද්හි සිට එන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටුවහ. තවලමේ ඔටුවන් පිට සුවඳලාටු, සුවඳ ඔසු ආලේපන හා කට්ටකුමංජල් පටවා තිබිණි. ඔවුහු ඒවා ඊජිප්තුව වෙත ගෙන යමින් සිටියහ.
26එවිට යූදා තම සහෝදරයින් අමතමින්, “අපේ සහෝදරයා මරා, අප ඔහුගේ ලේ වසන් කිරීමෙන්, ඉන් අපට අත්වන සෙත කුමක් ද? 27එන්න! මේ ඉෂ්මායෙල්වරුනට අපි ඔහු විකුණමු. ඔහුට අත නො තබමු. කොහොම වුණත්, ඔහු අපගේ සහෝදරයායි; අපගේ ම මාංසය හා ලේ යැ” යි කීවේ ය. ඔහුගේ සහෝදරයෝ ඊට එකඟ වූහ.
28මෙසේ මිදියන් වෙළඳුන් එතැන පසු කර යද්දී, යෝසෙප් වළෙන් ගොඩ ගත් ඔවුහු, රිදී කාසි විස්සකට ඉෂ්මායෙල්වරුන්ට ඔහු වික්කෝ ය. ඔවුහු යෝසෙප් ඊජිප්තුවට ගෙන ගියහ.
29රූබෙන් වළ වෙත යළි ආ කල, යෝසෙප් එහි නො වූ වග දුටුවේ ය. එබැවින් තම වස්ත්‍ර ඉරා ගත් ඔහු, 30තම සොහොයුරන් වෙත ගොස්, “ළමයා නැත. මං කොයි අත හැරෙන්න දැ?” යි කීවේ ය.
31ඉන්පසු ඔවුහු එළුවකු මරා, යෝසෙප්ගේ කබාය ගෙන, ලෙයින් පෙඟවූහ. 32පසුව ඔවුහු වර්ණවත් එම කබාය තම පියා වෙත ගෙන ගොස්, “අපට මෙය සම්බ වුණා. මෙය ඔබේ පුතාගේ කබාය ද, නැද්දැයි පරීක්ෂා කර බලන්නැ” යි කීහ.
33යාකොබ් එය හැඳින්නේ ය. “මෙය මා පුතුගේ කබාය තමයි. වන මෘගයෙක් ඔහු කා දමන්නට ඇති. නිසැක ව ම කෑලිවලට යෝසෙප් ඉරා දමනු ලබන්නට ඇති” යි කීවේ ය.
34ඉන්පසු යාකොබ් තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඉඟ දවටා, බොහෝ දිනක් තම පුත්‍රයා උදෙසා ශෝක වූයේ ය. 35ඔහුගේ සියලු පුත්තු හා දූවරු ඔහු සනසන්නට ආහ. එහෙත් සනසනු ලැබීම ප්‍රතික්ෂේප කළ ඔහු, “නෑ. මා වැලපෙමින්, මගේ පුතු ළඟට මිනී වළට බැස යනවා” යි කීවේ ය. මෙසේ ඔහුගේ පියා, ඔහු උදෙසා වැලපුණේ ය.
36මේ අතර මිදියන්වරු ඊජිප්තුවේදී පාරාවෝ රජුගේ නිලධාරියකු වන ආරක්ෂක සෙන්පති පොතිෆර්ට යෝසෙප් විකුණූහ.

Istaknuto

Podeli

Uporedi

Kopiraj

None

Želiš li da tvoje istaknuto bude sačuvano na svim tvojim uređajima? Kreiraj nalog ili se prijavi