ශු. මතෙව් 10:16-33

“මෙන්න! මා දැන් ඔබ පිටත් කර යවන්නේ, වෘකයින් මැදට බැටළුවන් ලෙසයි. එබැවින් සර්පයින් මෙන් විචක්ෂණ ව, පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න. මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න; ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත. මා නිසා ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියට ඔබ ඇදගෙන යනු ඇත. ඒ, ඔවුන්ටත්, විජාතිකයින්ටත් සාක්ෂි දරන පිණිසයි. එහෙත් ඔවුන් ඔබ පාවා දුන් කල, කිව යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් ද යන්න ගැන කනස්සලු නො වන්න. ඔබ කිව යුතු දෑ ඒ පැයේදී ඔබට දෙනු ලැබේ. මන්ද එවිට කතා කරන්නේ ඔබ නො වේ; ඔබගේ පියාණන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළින් කතා කරන සේක. “සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙනු ඇත; දරුවන් තම දෙමවුපියනට එරෙහිව නැගිට, ඔවුන් මරණයට පත් කරනු ඇත. සැවොම මගේ නාමය නිසා ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිර ව සිටින්නා, ගලවනු ලබනු ඇත. එක් නගරයකදී ඔබට පීඩා කරන කල, වෙනත් එකකට පලා යන්න. මනුෂ්‍ය පුත්‍රයාණන් එන්නට පෙර ඉශ්රායෙල් නගර සියල්ලෙහි සැරිසරා නිම කරන්නට ඔබට නො ලැබෙන බව සැබවින් ම මම ඔබට කියමි. “ගෝලයෙක් තම ගුරුවරයාට වඩා උසස් නැත; සේවකයෙක් තම ස්වාමියාට වඩා උසස් නැත. තම ගුරුවරයා හා සමාන වීම ගෝලයාටත්, තම ස්වාමියා හා සමාන වීම සේවකයාටත් සෑහෙයි. ගෘහ මූලිකයා බෙල්සෙබුල් යයි කියන ලද්දේ නම්, ඔහුගේ ගෘහ වාසීහු ඊට කොපමණ වැඩියෙන් අපහාස නො ලබත් ද? “එබැවින් ඔවුනට බිය නො වන්න. එළිදරවු නො වන සේ සඟවන ලද කිසිවක් නැත. දැනගනු නො ලබන සේ වසන් කරන ලද කිසිවක් ද නැත. අඳුරේ මා ඔබට කියන දෑ, ආලෝකයේදී පවසන්න. ඔබේ කනට කොඳුරා කී දෑ, ගෙපියසි උඩදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න. ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට භය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට භය වන්න. ගේ කුරුල්ලන් දෙදෙනකු තුට්ටුවකට විකුණනවා නො වේ ද? එහෙත් උන්ගෙන් එකකුවත් ඔබේ පියාණන්වහන්සේ නො දැන බිම වැටෙන්නේ නැත. ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. එබැවින් බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී. “මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකු ම ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් පිළිගනිමි. එහෙත් මිනිසුන් ඉදිරියේ මා ප්‍රතික්ෂේප කරන කවරකු වුවත් ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් ප්‍රතික්ෂේප කරමි.
මතෙව් 10:16-33