ගීතාවලිය 86:1-7

ගීතාවලිය 86:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සවන් දුන මැනවි අහෝ ස්වාමින්වහන්ස, අසා, ප්‍රතිචාර දැක්වුව මැනව. මන්ද මා දුප්පත් ය, දිළිඳු ය. මා දිවි රැක දුන මැනව, මන්ද මම ඔබවහන්සේට කැප වූවෙක්මි; ඔබ තුළ විශ්වාසය තබන ඔබගේ සේවකයා ගැලෙවුව මැනව. ඔබ මගේ දෙවියන්වහන්සේ ය; දයා වුව මැනව මට අහෝ ස්වාමිනි, දවස පුරා මම ඔබට හඬ ගසමි. ඔබගේ සේවකයාට ප්‍රීතිය ගෙන දුන මැනව, මන්ද මම ඔබ වෙත මගේ ජීවය ඔසවන්නෙමි, අහෝ ස්වාමිනි. ඔබ කමා වන සේක; ඔබ යහපත් ය, අහෝ ස්වාමිනි, ඔබට අයදින සියල්ලන්ට ඔබගේ නොමියෙන ප්‍රේමය අපරිමිත ය. ඇසුව මැනවි මගේ යැදුම, අහෝ ස්වාමින්වහන්ස; දයාව අයදින මගේ හැඬුමට සවන් දුන මැනව. මගේ විපත්ති දවසේ මම ඔබට හඬ ගසන්නෙමි; මන්ද ඔබ මට පිහිට වන සේක.

ගීතාවලිය 86:1-7 Sinhala Revised Old Version (SROV)

ස්වාමිනි, ඔබගේ කන නමා මට උත්තරදුන මැනව; මක්නිසාද මම දුප්පත්මි, දිළින්දෙමි. මාගේ ප්‍රාණය රක්ෂාකළ මැනව; මක්නිසාද මම භක්තිවන්තයෙමි. මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකරන ඔබගේ මෙහෙකරුවා ගැළෙවුව මැනව. ස්වාමිනි, දවස මුළුල්ලේම ඔබට හඬා සිටින බැවින් මට කරුණාකළ මැනව. ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවන බැවින් ඔබගේ මෙහෙකරුවාගේ ආත්මය ප්‍රීතිමත්කළ මැනව. මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය. ස්වාමිනි, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව. මාගේ විපත්ති දවසේදී ඔබට යාච්ඤා කරන්නෙමි; මක්නිසාද ඔබ මට උත්තරදෙනසේක.

ගීතාවලිය 86:1-7 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්ස, ඔබ කන් යොමා මට පිළිතුරු දුන මැනව. මන්ද, මම අසරණ ය; මම දුබල ය. මා භක්තිවන්ත බැවින් මා මරණින් මුදනු මැනව; ඔබ කෙරෙහි විශ්වාස කරන ඔබේ දාසයා මුදාලුව මැනව. මාගේ සමිඳුනි, මට අනුකම්පා කළ මැනව. මුළු දවස පුරා මම ඔබට අයැදිමි. ඔබේ දාසයාගේ සිත ප්‍රීතිමත් කළ මැනව. මන්ද, මාගේ සමිඳුනි, මම ඔබට යාච්ඤා කරමි. මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක. සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව. විපත් කාලයේ දී මම ඔබට හඬගසන්නෙමි. ඔබ මට පිළිතුරු දෙන සේක.