ගීතාවලිය 69:1-12

ගීතාවලිය 69:1-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මා ගැලෙවුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මන්ද දිය කඳ, මගේ ගෙල දක්වා ම නැග තිබේ. පය ගසා ගන්නට ඉඩක් නැති, ගැඹුරු මඩ ගොහොරුවෙහි මා කිඳා බසී. ජල ධාරාවලින් වෙළා ගනු ලැබ, මා සිටින්නේ ගැඹුරු දියේ ය. පිහිට ඉල්ලා මොර ගැසීමෙන්, මම විඩාවට පත් ව සිටිමි; මගේ උගුර ද හොඳට ම වේළී ගොසිනි. දෙවියන්වහන්සේ දෙස බලා සිටීමෙන්, මගේ දෙනෙත ද අඳුරු වී යයි. අහේතුක ව මට වෛරවන්නෝ ගණනින් මගේ හිසකේවලටත් වඩා වැඩි ය; මා වනසා දමන්නට මාන බලන, නිකරුණේ මට සතුරු වූවෝ බොහෝ ය. මවිසින් සොරකම් නො කරන ලද දෑ, ආපසු දෙන්නැයි මට බල කරනු ලැබේ. අහෝ දෙවියන්වහන්ස, මගේ අනුවණකම ඔබ දන්නා සේක; මගේ වැරදි ඔබ ඉදිරියේ සැඟවී නැත. අහෝ ස්වාමිනි, සේනාංකාධිපති ස්වාමින්වහන්ස, ඔබ තුළ බලාපොරොත්තු තබා ඇති අය මා නිසා නින්දාවට නො පැමිණෙත්වා! අහෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබේ සරණය සොයන්නෝ මා නිසා ලජ්ජාවට නො පැමිණෙත්වා! මන්ද මම ඔබ උදෙසා නින්දා දරා ගනිමි; ලජ්ජාවෙන් මගේ මුහුණ වැසී යයි. මගේ ම සහෝදරයන්ට මා ආගන්තුකයෙකි, මගේ මවුගේ කුසින් බිහි වූ සෙසු දරුවනට මා විදේශිකයෙකි; ඔබගේ ගෘහය උදෙසා වූ උද්යෝගයෙන් මා ඇවිළේ, ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට වැටිණි. මම වැලපීමෙන් හා නිරාහාර ශීලයෙන් සිටින කල, එය මට නින්දාවක් විය; ශෝක වීමේ ලකුණක් වශයෙන් මා ගෝණි රෙදි මගේ ඇඳුම කර ගත් කල, ජනයා මා විහිළුවකට බාර ගත්හ. පුර දොරටු ප්‍රජා පොළේ හිඳ සිටින්නවුන්ගේ කතාව මා ගැන ය, බේබද්දන්ගේ ගීතය ද මා ය.

ගීතාවලිය 69:1-12 Sinhala Revised Old Version (SROV)

දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව; මක්නිසාද ජලධාරා මාගේ ප්‍රාණයතෙක් පැමිණ තිබේ. සිටින්ට තැනක් නැති ගැඹුරු මඩෙහි කිඳී සිටිමි. ගැඹුරු ජලයට පැමිණ සිටිමි, ජල ධාරාවෝ මා උඩින් ගලායති. මාගේ මොරගැසීමෙන් වෙහෙසව සිටිමි; මාගේ උගුර වියළී තිබේ. මාගේ දෙවියන්වහන්සේ ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ. නිෂ්කාරණයේ මට වෛරවන්නෝ මාගේ ඉසකේවලට වැඩිය. අයුතුලෙස මට සතුරුව මා සිඳ දමන්ට කැමැත්තෝ බලවත්ය. එවිට මා විසින් පැහැර නොගත් දෙය දෙන්ට සිදුවිය. දෙවියන්වහන්ස, ඔබ මාගේ අඥානකම දන්නාසේක; මාගේ පව්ද ඔබගෙන් සැඟවී නැත. සේනාවල දෙවිවූ ස්වාමිනි, ඔබ කෙරෙහි බලාසිටින්නෝ මා නිසා ලජ්ජාවට නොපැමිණෙත්වා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ සොයන්නෝ මා නිසා අගෞරවයට නොපැමිණෙත්වා. මක්නිසාද මම ඔබ නිසා නින්දා ඉවසීමි; මාගේ මුහුණ ලජ්ජාවෙන් වැසී ගියේය. මාගේ සහෝදරයන්ට ආගන්තුකයෙක්ව, මාගේ මෑණියන්ගේ දරුවන්ට විදේශියෙක්ව සිටිමි. මක්නිසාද ඔබගේ ගෘහය සඳහා ඇති ජ්වලිතය මා දැවුවේය; ඔබට නින්දාකරන්නන්ගේ නින්දා මා පිට වැටී තිබේ. මා ඇඬූ කලද නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට දුක් ඉපදවූ කලද එය මට නින්දාවක් විය. ගෝණි මාගේ ඇඳුම් කොට ගත් කල මම ඔවුන්ට නින්දා වාක්‍යයක් වීමි. නුවර දොරකඩ හිඳින අය මා ගැන කථාකෙරෙති; බේබද්දන්ගේ කවි මා ගැන වෙයි.

ගීතාවලිය 69:1-12 Sinhala New Revised Version (NRSV)

අනේ දෙවිඳුනි! මා මුදාලුව මැනව. කුමක් නිසා ද, දිය කඳ මාගේ ගෙල දක්වා නැඟී ඇත්තේ ය. මම පය තැබීමට තැනක් නොමැති මඩ ගොහොරුවේ කිඳා සිටිමි; මම ගැඹුරු දියට පැමිණ සිටිමි. රළපතර මා යට කර උඩින් ගලා යයි. මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය. මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය. නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය. මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය. එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය. අනේ දෙවිඳුනි! ඔබ මාගේ මෝඩකම දන්න සේක. මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය. සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නෝ මා නිසා ලජ්ජාවට පත් නොවෙත් වා! ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුනි, ඔබ සොයන්නෝ මා නිසා නින්දාවට නොපැමිණෙත් වා! ඔබ තුමන් උදෙසා මම අපවාදයට ලක් වුණෙමි. මාගේ මුහුණ ඒ ලජ්ජාවෙන් වැසී ඇත්තේ ය. මාගේ සොහොයුරන්ට මම නාඳුනන්නෙක් වීමි; මාගේ මවගේ පුත්‍රයන් හට මම විදේශිකයෙක් වීමි. ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය. එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය. ගෝණි රෙද්දෙන් මාගේ වස්ත්‍ර මම සාදාගතිමි. එවිට මම ඔවුන්ගේ සමච්චලයට ලක් වුණෙමි. මඟ තොටේ කට කතාව මා ගැන ය; බේබද්දෝ මා ගැන අවමන් කවි කියන්නෝ ය.

ගීතාවලිය 69:1-12 Sinhala New Revised Version 2018 (SNRV)