ගීතාවලිය 69:1-12

ගීතාවලිය 69:1-12 SROV

දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව; මක්නිසාද ජලධාරා මාගේ ප්‍රාණයතෙක් පැමිණ තිබේ. සිටින්ට තැනක් නැති ගැඹුරු මඩෙහි කිඳී සිටිමි. ගැඹුරු ජලයට පැමිණ සිටිමි, ජල ධාරාවෝ මා උඩින් ගලායති. මාගේ මොරගැසීමෙන් වෙහෙසව සිටිමි; මාගේ උගුර වියළී තිබේ. මාගේ දෙවියන්වහන්සේ ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ. නිෂ්කාරණයේ මට වෛරවන්නෝ මාගේ ඉසකේවලට වැඩිය. අයුතුලෙස මට සතුරුව මා සිඳ දමන්ට කැමැත්තෝ බලවත්ය. එවිට මා විසින් පැහැර නොගත් දෙය දෙන්ට සිදුවිය. දෙවියන්වහන්ස, ඔබ මාගේ අඥානකම දන්නාසේක; මාගේ පව්ද ඔබගෙන් සැඟවී නැත. සේනාවල දෙවිවූ ස්වාමිනි, ඔබ කෙරෙහි බලාසිටින්නෝ මා නිසා ලජ්ජාවට නොපැමිණෙත්වා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ සොයන්නෝ මා නිසා අගෞරවයට නොපැමිණෙත්වා. මක්නිසාද මම ඔබ නිසා නින්දා ඉවසීමි; මාගේ මුහුණ ලජ්ජාවෙන් වැසී ගියේය. මාගේ සහෝදරයන්ට ආගන්තුකයෙක්ව, මාගේ මෑණියන්ගේ දරුවන්ට විදේශියෙක්ව සිටිමි. මක්නිසාද ඔබගේ ගෘහය සඳහා ඇති ජ්වලිතය මා දැවුවේය; ඔබට නින්දාකරන්නන්ගේ නින්දා මා පිට වැටී තිබේ. මා ඇඬූ කලද නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට දුක් ඉපදවූ කලද එය මට නින්දාවක් විය. ගෝණි මාගේ ඇඳුම් කොට ගත් කල මම ඔවුන්ට නින්දා වාක්‍යයක් වීමි. නුවර දොරකඩ හිඳින අය මා ගැන කථාකෙරෙති; බේබද්දන්ගේ කවි මා ගැන වෙයි.