ගීතාවලිය 45:1-9

ගීතාවලිය 45:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

රජු උදෙසා, මා මේ ගී පද ගයන කල, රාජකීය තේමාවකින් මහද පිනා යයි; මගේ දිව නිපුණ රචකයකුගේ පන්හිඳක් ය. මිනිසුන් අතර ඉතාම කඩවසම් තැනැත්තා ඔබ ය; ඔබගේ දෙතොල අනුග්‍රහයෙන් ආලේපිත ය; මන්ද දෙවියන්වහන්සේ ඔබට සදාතනික ව ආශිර්වාද කර ඇත. ඔබගේ අසිපත ඔබගේ ඉඟ බැඳ ගනු මැනව. එම්බා බලවන්තයාණනි, ශෝභාශ්‍රීයෙන් හා තේජශ්‍රීයෙන් සැරසුන මැනව. සත්‍යයේ, නිහතමානීත්වයේ හා දමිටුකමේ නාමයෙන් ඔබගේ තේජශ්‍රීයෙන් යුතු ව, ජයග්‍රාහී ව රථයෙන් වඩින්න. ඔබගේ දකුණතින් භයංකර ක්‍රියා කෙරේවා. ඔබගේ ඊ ගස්, රජුගේ සතුරන්ගේ හදවත් සිදුරු කර යේවා! සෙසු ජාතීන් ඔබගේ පාමුල වැටේවා! අහෝ දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය, සදාතනයෙන් සදාතනයට පවතින්නේ ය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය, ධර්මිෂ්ඨත්වයේ ජයකොන්තයකි. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කළ සේක්, දුෂ්ටකමට වෛර කළ සේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ප්‍රීතියේ තෙලින් ඔබ ආලේප කර ඔබේ සහකරුවනට, ඉහළින් ඔබ පිහිටෙවු සේක. ඔබ හඳිනා ලෝගුවල, සුවඳලාටු, අගිල් හා දවුල්කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්-දළින් අලංකෘත මාලිගාවල නැගෙන තන්ත්‍රි තූර්ය වැයුමෙන් ඔබ විනෝදවත් කෙරේ. ඔබගේ ප්‍රිය කුලකතුන් අතර රජවරුන්ගේ දූ කුමරියෝ වෙති; ඔබගේ දකුණු පස සිටින්නේ, ඕෆීර්හි රනින් පැලඳි අග බිසව ය.

ගීතාවලිය 45:1-9 Sinhala Revised Old Version (SROV)

යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි. මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ. ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක; ඔබගේ තොල්වල අනුග්‍රහය වගුරුවනලද්දේය. එබැවින් දෙවියන්වහන්සේ ඔබට සදාකාලයටම ආශීර්වාදකළසේක. බලවන්තයාණෙනි, ඔබගේ තේජස හා මහිමය නමැති කඩුව ඉඟටියෙහි බැඳගත මැනව. සැබෑකමත් මොළොක්කමත් ධර්මිෂ්ඨකමත් සඳහා ස්වකීය මහිමයෙන් යුක්තව ජය රථයෙන් වැඩිය මැනව. ඔබගේ දකුණත ඔබට භයානක කාරණා උගන්වන්නේය. ඔබගේ ඊගස් තියුණුය; මනුෂ්‍ය වර්ගයෝ ඔබට පරාජයව වැටෙති, රජුගේ සතුරන්ගේ හෘදයට ඒවා ඇනී තිබේ. දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයක්ය. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂකළසේක. එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේපකළසේක. ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවූවෝය. ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.

ගීතාවලිය 45:1-9 Sinhala New Revised Version (NRSV)

රජිඳුන් උදෙසා මේ කාව්‍යය රචනා කරමි. එවිට මාගේ සිත විසිතුරු තේමාවකින් පිබිදෙයි. මාගේ දිව දක්ෂ ලේඛකයෙකුගේ පන්හිඳ වැනි ය. රජිඳුනි, ඔබ මෙන් රූපසම්පන්න කෙනෙක් මිනිසුන් අතර තවත් නැත. ඔබ ව්‍යක්ත කථිකයෙකි, දෙවි තුමාණෝ ඔබට සැම දා ආසිරි දුන් සේක. ප්‍රතාපවත් නිරිඳුනි, ඔබේ මඟුල් කඩුව ඉඟටියෙහි බැඳගන්න; ඔබ වික්‍රමාන්විත ය; තේජාන්විත ය. සත්‍යය හා යුක්තිය රක්නා පිණිස මංගල රථයෙන් තේජසින් ජය බිම් බලා වැඩිය මැනව; ඔබේ බාහු බලයෙන් ඔබ උදුල ජය කෙහෙලි නංවනු ඇත. ඔබේ ඊගස් තියුණු ය; ඒවා ඔබේ රුපුන් හදවත් විදගෙන යයි. විජාතීහු පැරදී ඔබ පාමුල වැටෙති. ඔබේ සිහසුන දෙවි සිහසුන මෙන් සදා වැජඹෙනු ඇත. ඔබේ රජයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයකි. ඔබ යුක්තියට ප්‍රේම කොට, අයුක්තියට ද්වේෂ කරයි. එබැවින් දෙවිඳුන්, ඔබේ දෙවිඳුන්, ඔබ තෝරාගෙන අන් හැමට වඩා ඔබට සව්සිරි දී ඇත. ඔබේ රාජකීය වස්ත්‍රවලින් සඳුන්, කපුරු, කස්තුරි සුවඳ විහිදෙයි. ඇත්දත් මාලිගාවල සංගීතකරුවෝ ඔබ මන පිනවති. ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.

ගීතාවලිය 45:1-9 Sinhala New Revised Version 2018 (SNRV)