ගීතාවලිය 45

45
රාජකීය මංගල ගීතයක්
කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවක් වන, ප්‍රේමවන්තියන් ගැන සෑදූ ගීතිකාවකි.
1රජිඳුන් උදෙසා මේ කාව්‍යය රචනා කරමි.
එවිට මාගේ සිත විසිතුරු තේමාවකින් පිබිදෙයි.
මාගේ දිව දක්ෂ ලේඛකයෙකුගේ පන්හිඳ වැනි ය.
2රජිඳුනි, ඔබ මෙන් රූපසම්පන්න කෙනෙක් මිනිසුන් අතර තවත් නැත.
ඔබ ව්‍යක්ත කථිකයෙකි, දෙවි තුමාණෝ ඔබට සැම දා ආසිරි දුන් සේක.
3ප්‍රතාපවත් නිරිඳුනි, ඔබේ මඟුල් කඩුව ඉඟටියෙහි බැඳගන්න;
ඔබ වික්‍රමාන්විත ය;
තේජාන්විත ය.
4සත්‍යය හා යුක්තිය රක්නා පිණිස මංගල රථයෙන් තේජසින් ජය බිම් බලා වැඩිය මැනව;
ඔබේ බාහු බලයෙන් ඔබ උදුල ජය කෙහෙලි නංවනු ඇත.
5ඔබේ ඊගස් තියුණු ය;
ඒවා ඔබේ රුපුන් හදවත් විදගෙන යයි.
විජාතීහු පැරදී ඔබ පාමුල වැටෙති.
6 # හෙබ්‍රෙ 1:8-9 ඔබේ සිහසුන දෙවි සිහසුන මෙන් සදා වැජඹෙනු ඇත.
ඔබේ රජයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයකි.
7ඔබ යුක්තියට ප්‍රේම කොට, අයුක්තියට ද්වේෂ කරයි.
එබැවින් දෙවිඳුන්, ඔබේ දෙවිඳුන්, ඔබ තෝරාගෙන අන් හැමට වඩා ඔබට සව්සිරි දී ඇත.
8ඔබේ රාජකීය වස්ත්‍රවලින් සඳුන්, කපුරු, කස්තුරි සුවඳ විහිදෙයි.
ඇත්දත් මාලිගාවල සංගීතකරුවෝ ඔබ මන පිනවති.
9ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත.
ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.
10දියණියනි, මා වදනට සවන් දෙන්න;
ඒවා සිතට ගන්න.
ඔබේ ජාතිය, ඔබේ ගම රට සිතින් අමතක කරන්න.
11එවිට නිරිඳු ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත;
ඔහු ඔබේ ස්වාමියා ය, ඔහුට අවනත වන්න.
12තීර්හි වැසියන් පඬුරු රැගෙන ඔබ වෙත එනු ඇත.
13මාලිගයෙහි රාජ දියණිය, රාජ තේජසින් වැජඹෙන්නී ය.
ඇගේ සළුව රන්කමින් විසිතුරු කොට ඇත.
14මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය.
ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය.
15සිත් සතොසින් ඇලළී ඔව්හු රජ මැදුරට පිවිසෙති.
16නිරිඳුනි, ඔබේ පිය රජුන් වෙනුවට, ඔබට පුත් කුමරුවෝ රැසක් ඇති වන්නෝ ය.
ඔබ ඔවුන් මුළු පොළොවෙහි මහීපාලයන් කරන්නෙහි ය.
17මම ඔබේ යසස, සියලු පරපුරට සිහි කරවන්නෙමි.
සව් සත සදා ඔබට පසස් ගී ගයන්නෝ ය.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 45: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න