ගීතාවලිය 145:1-7

ගීතාවලිය 145:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මම ඔබ උසස් කරමි. මගේ රජ්ජුරුවන් වන දෙවියන්වහන්ස, සදහට ම, සදාතනික ව ඔබගේ නාමය පසසන්නෙමි. හැම දවසක මම ඔබ පසසමි; සදහට ම, සදාතනික ව ඔබගේ නාමය වර්ණනා කරමි. ස්වාමින්වහන්සේ උත්තම ය; උසස් ම ප්‍රශංසාව ලැබිය යුත්තාණෝ ය; උන්වහන්සේගේ උත්තම භාවය සොයා දැනගත නො හැකි ය. එක් පරම්පරාවක් ඊළඟ පරම්පරාවට ඔබ කළ දෑ වර්ණනා කරනු ඇත; ඔබගේ පරාක්‍රමවත් ක්‍රියා ගැන ඔවුන් ප්‍රකාශ කරනු ඇත. ඔබගේ රාජත්වයේ තේජවත් ශෝභාශ්‍රීය මත, ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා මත මම භාවනා කරන්නෙමි. ඔබගේ බියජනක ක්‍රියාවල බලය ගැන ඔවුන් පවසනු ඇත; මම ඔබගේ උත්තම ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. ඔබගේ අධික යහගුණයේ කීර්තිය ඔවුහු තව තව පතුරුවති, ඔබගේ ධර්මිෂ්ඨත්වය හඬ නගා ගායනා කරති.

ගීතාවලිය 145:1-7 Sinhala Revised Old Version (SROV)

මාගේ දෙවිවූ රජ්ජුරුවන්වහන්ස, ඔබ උසස්කරන්නෙමි; ඔබගේ නාමයට සදාකාලේටම ප්‍රශංසාකරන්නෙමි. සෑමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි. ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය; උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය. එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට ඔබගේ කර්මාන්ත වර්ණනාකරමින්, ඔබගේ බලවත් ක්‍රියා ප්‍රකාශකරන්නේය. මම ඔබගේ ගෞරවයේ තේජෝමහිමයත් ඔබගේ පුදුම ක්‍රියාත් මෙනෙහිකරන්නෙමි. මනුෂ්‍යයෝ ඔබගේ භයානක ක්‍රියා බලය ගැන කථාකරන්නෝය; මමද ඔබගේ උතුම්කම ප්‍රශංසාකරන්නෙමි. ඔව්හු ඔබගේ මහත් යහපත්කමේ සිහිවීම ප්‍රකාශකරමින්, ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ගී කියන්නෝය.