ගීතාවලිය 141:1-10

ගීතාවලිය 141:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මම ඔබට හඬ ගසමි, අහෝ ස්වාමින්වහන්ස, විගස මා වෙත ආ මැනව; මා ඔබට හඬ ගසන කල, මගේ කටහඬට සවන් දුන මැනවි. මගේ යැදුම්, ඔබ ඉදිරියේ පිදෙන සුවඳ දුම් සේ ද මගේ අත් එසවීම, සවස යාග පූජාව සේ ද වේවා. මගේ කට රැක ගැනීමට මුරකාවල් තැබුව මැනව, අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙතොල් දොරටුව ළඟ රැකවල් තැබේවා. අයුතුකම් කරන මිනිසුන් සමඟ හවුල් වී, දුෂ්ට ක්‍රියාකාරකම්වල නො ගැලෙන පිණිස, නපුර වෙත ඇදෙන්නට මගේ හදවතට ඉඩ නො දුන මැනව; ඔවුන්ගේ රසමසවුළු බුදින්නට ද මට ඉඩ නුදුන මැනව. දමිටු මිනිසකු මට පහර දේවා; එය කාරුණිකත්වයකි. ඔහු මට තරවටු කරත්වා; එය මගේ හිසේ තෙල් ගැල්වීමකි. මගේ හිස එය ප්‍රතික්ෂේප කරනු නැත. එහෙත් මගේ යැදුම කවදත් දුෂ්ටකම් කරන්නන්ට එරෙහිව ය. ඔවුන්ගේ විනිසුරුවන්, කන්දෙන් පහළට ඇද දමනු ලැබූ කල, මගේ වචන යෝග්‍ය වග ඔවුන් ඉගෙන ගනු ඇත. යමකු බිම හෑමෙන් පස පෙරළන්නේ යම් සේ ද, අපගේ ඇටකටු ෂෙයෝල් කටේ විසිරෙන්නේ ද එලෙසිනි. අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මගේ දෑස් ඔබ වෙත යොමා තිබේ. මම ඔබගේ පිළිසරණ සොයා එමි; මා අනාරක්ෂිත ව නො තැබුව මැනවි. මා හසුකර ගැනීමට ඔවුන් හැදූ උගුල්වලින්, දුෂ්ටකම් කරන්නන් අටවා ඇති මලපුඩුවලින් මා ඈත්කර තැබුව මැනව. මා සුරක්ෂිත ව ඒවා පසු කර යන අතරේ, ඔවුන් එළූ දැලෙහි ඔවුන් ම පැටලේවා!

ගීතාවලිය 141:1-10 Sinhala Revised Old Version (SROV)

ස්වාමිනි, මම ඔබට යාච්ඤාකෙළෙමි; මා ළඟට ඉක්මනින් අව මැනව. ඔබට යාච්ඤාකරන කල මාගේ ශබ්දයට ඇහුම්කන්දුන මැනව. මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා. ස්වාමිනි, මාගේ කටෙහි රැකවලක් තබා, මාගේ තොල් නමැති දොර රක්ෂාකළ මැනව. අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොහළ මැනව; ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකරෙමේවා. ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා. මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ යාච්ඤාව පවතින්නේය. ඔවුන්ගේ විනිශ්චයකාරයෝ ප්‍රපාතවලින් හෙළනු ලබති; ඔව්හු මාගේ වචන අසන්නෝය; මක්නිසාද ඒවා මිහිරිය. පොළොව හාලා පෙරළන කල්හි මෙන් අපේ ඇට මිනීවළේ කට ළඟ ඉසිරී තිබේ. එසේය, ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ ඇස් ඔබ දෙස යොමුවී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි; මාගේ ප්‍රාණය අසරණවෙන්ට නොහළ මැනව. ඔවුන් මට තැබූ මලපතින්ද අයුතුකම්කරන්නන්ගේ උගුල්වලින්ද මා ආරක්ෂාකළ මැනව. මා ගැළවීයන අතර දුෂ්ටයෝ තමුන්ගේම දැල්වල වැටෙත්වා.

ගීතාවලිය 141:1-10 Sinhala New Revised Version (NRSV)

සමිඳුනි, මම ඔබෙන් අයැදින්නෙමි. මා ළඟට විගසින් වැඩිය මැනව. ඔබෙන් අයැදින කල මට සවන් දුන මැනව. මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව. සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව. මාගේ දෙතොල රක්ෂා කළ මැනව. මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි. ඔවුන්ගේ විනිශ්චයකාරයන් ප්‍රපාතවලින් හෙළනු ලැබූ කල මාගේ වචන සැබෑ බව සෙනඟ පිළිගනු ඇත. ලී කොට කැබලිකර දමන්නාක් මෙන් ඔවුන්ගේ ඇටකටු මිනී වළේ කට ළඟ විසිරී තිබේ. එසේ ය, මහෝත්තම දෙවි ස්වාමීනි, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි. මා අනාථ වන්නට ඉඩ නුදුන මැනව. ඔවුන් මට තැබූ මලපතින් ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින් ද මා ආරක්ෂා කළ මැනව. මා ගැළවී යන අතර, දුදනෝ තමන්ගේ ම දැල්වලට අසු වෙත් වා!

ගීතාවලිය 141:1-10 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්ස, මම ඔබෙන් අයැදින්නෙමි. මා ළඟට විගසින් වැඩිය මැනව. ඔබෙන් අයැදින කල මට සවන් දුන මැනව. මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව. සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව. මාගේ දෙතොල රක්ෂා කළ මැනව. මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි. ඔවුන්ගේ විනිශ්චයකාරයන් ප්‍රපාතවලින් හෙළනු ලැබූ කල මාගේ වචන සැබෑ බව සෙනඟ පිළිගනු ඇත. ලී කොට කැබලිකර දමන්නාක් මෙන් ඔවුන්ගේ ඇටකටු මිනී වළේ කට ළඟ විසිරී තිබේ. එසේ ය, මහෝත්තම දෙවි ස්වාමීනි, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි. මා අනාථ වන්නට ඉඩ නුදුන මැනව. ඔවුන් මට තැබූ මලපතින් ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින් ද මා ආරක්ෂා කළ මැනව. මා ගැළවී යන අතර, දුදනෝ තමන්ගේ ම දැල්වලට අසු වෙත් වා!