ගීතාවලිය 116:1-10

ගීතාවලිය 116:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මම ස්වාමින්වහන්සේට ප්‍රේම කරමි; මන්ද උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක; දයාව ඉල්ලා කළ මගේ කන්නලව්ව ඇසූ සේක. උන්වහන්සේ මා දෙසට තම කන් යොමු කළ බැවින් දිවි ඇති තුරා මම උන්වහන්සේට යාච්ඤා කරන්නෙමි. මරණයේ රැහැන්, මා වෙළා ගත්තේ ය, මළවුන්ගේ ලොවේ සෝ-සන්තාපය, මා පිට පැටවිණ; විපත්තිය හා ශෝකය, මා යට කර ගති. එවිට මම ස්වාමින්වහන්සේගේ නාමයට හඬ ගැසීමි: “අහෝ ස්වාමින්වහන්ස, මා ගැලෙවුව මැනව!” ස්වාමින්වහන්සේ දයාන්විත ය; ධර්මිෂ්ඨ ය; අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ ය. ස්වාමින්වහන්සේ අව්‍යාජ සිතැත්තන් සුරකින සේක; මා දැඩි අසීරුතාවකට පත් අවස්ථාවේ, උන්වහන්සේ ඉන් මා ගැලවූ සේක. එම්බා මගේ ජීවය, යළිත් වරක් සැනසී සිටින්න; මන්ද ස්වාමින්වහන්සේ නුඹට ගුණවත් ය. මන්ද ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්සේ මගේ ජීවය මරණයෙන් ද මගේ ඇස් කඳුළින් ද මගේ පා පැකිළීමෙන් ද මිදූ සේක. ජීවතුන්ගේ දේශයේ මම, ස්වාමින්වහන්සේ ඉදිරියේ හැසිරෙන්නෙමි. “මා බෙහෙවින් පීඩාවට පත් වෙලා” යි කී විටදී පවා මම විශ්වාස කළෙමි.

ගීතාවලිය 116:1-10 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්ට ප්‍රේමකරමි, මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක. උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් ජීවත්ව සිටින තෙක් මම උන්වහන්සේට යාච්ඤාකරන්නෙමි. මරණයේ රැහැනෙන් වටකරනු ලැබීමි, ෂෙයෝලේ වේදනා මා අල්වාගත්තේය. විපත හා දුක මට පැමුණුණේය. එවිට මම ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: ස්වාමිනි, මාගේ ප්‍රාණය මිදුව මැනවයි කීයෙමි. ස්වාමීන්වහන්සේ දයාවන්තය, ධර්මිෂ්ඨය; එසේය, අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තය. ස්වාමීන්වහන්සේ යටහතුන් ආරක්ෂාකරනසේක. මම පහත්කරනු ලැබීමි, උන්වහන්සේ මා ගළවාගත්සේක. මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹට බොහෝසේ යහපත්කම් කළසේක. මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය මරණයෙන්ද මාගේ ඇස් කඳුළෙන්ද මාගේ පාද පැකිලීමෙන්ද ගැළවූසේක. ජීවතුන්ගේ දේශයෙහි ස්වාමීන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි. මම විශ්වාසකරමි, එබැවින් කථාකරන්නෙමි. මම බොහෝසේ පීඩිතවීමි.

ගීතාවලිය 116:1-10 Sinhala New Revised Version (NRSV)

සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක. එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි. මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය. එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි. සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය. සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක. මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක. එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක. එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි. “මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.

ගීතාවලිය 116:1-10 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක. එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමාණන්ට යාච්ඤා කරන්නෙමි. මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය. එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි. සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය. සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක. මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක. එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක. එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි. “මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.