ගීතාවලිය 115:1-18

ගීතාවලිය 115:1-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අපට නො ව, අහෝ ස්වාමින්වහන්ස, අපට නො ව, ඔබගේ නාමයට තේජෝ මහිම වේවා! ඒ, ඔබගේ නොමියෙන ප්‍රේමයත්, ඔබගේ විශ්වසනීයත්වයත් නිසා ය. “කෝ! කොහේ ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ” යි පිට ජාතීන් පවසන්නේ මන්ද? අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයේ ය; තමන්ට රිසි දේ උන්වහන්සේ කරන සේක. එහෙත් ඔවුන්ගේ දේවතා රූප රිදී හා රන් පිළිම ය; ඒවා මිනිසුන්ගේ අත්වල නිමැවුම් ය. ඒවාට කටවල් ඇත, එහෙත් කතා බැරි ය; ඇස් ඇත, එහෙත් පෙනෙන්නේ නැත. ඒවාට කන් ඇත, එහෙත් ඇහෙන්නේ නැත; නාසා ඇත, එහෙත් ගඳ-සුවඳ නො දැනේ. ඒවාට අත් ඇත, එහෙත් ඒවායින් කිසිවක් අල්ලන්නට බැරි ය; ඒවාට පා ඇත, එහෙත් ඇවිදින්නට නො හැක. උගුරින් යම් හඬක් නගන්නට ද ඔවුනට බැරි ය. ඒවා සාදන්නෝ ද ඔවුන් වගේ වෙති; ඒ පිළිම අදහන්නෝ ද ඒවා මෙන් වෙති. එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න; මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය. එම්බා ආරොන් වංශය, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න; මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය. උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න; මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේ අප සිහි කරන සේක; අපට ආශිර්වාද කරන සේක; උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට ආශිර්වාද කරන සේක; උන්වහන්සේ ආරොන් වංශයට ආශිර්වාද කරන සේක; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ලොකු කුඩා සියල්ලනට උන්වහන්සේ ආශිර්වාද කරන සේක. ස්වාමින්වහන්සේ ගණනින් ඔබ වැඩි කරන සේක්වා; ඔබට ද ඔබේ දරු පරපුරට ද එසේ වෙත්වා! අහසේ ද පොළොවේ ද මැවුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේගෙන් ඔබ ආශිර්වාද ලබත්වා! ස්වර්ග, ස්වාමින්වහන්සේගේ ස්වර්ග වේ; එහෙත් පොළොව, උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබේ. ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නේ මළගිය ඇත්තන් නො වේ, නිසලතාවට බැස ගිය ඇත්තන් නො වේ; අපි, දැනුත්, මින් ඉදිරියට සදහටත් ස්වාමින්වහන්සේ පසසන්නෙමු.

ගීතාවලිය 115:1-18 Sinhala Revised Old Version (SROV)

ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව. ඔවුන්ගේ දෙවියෝ දැන් කොතැන්හිදැයි ජාතීන් විසින් කියන්ට ඉඩදෙන්නේ මන්ද? එහෙත් අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය. උන්වහන්සේ කැමති කොයි දෙයක් නුමුත් කළසේක. ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්තයෝය. ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති; කන් ඇත, එහෙත් නොඅසති; නාස් ඇත, එහෙත් ගඳ සුවඳ නොදනිති; අත් ඇත, එහෙත් නාල්ලති; පා ඇත, එහෙත් නොඇවිදිති; උගුරෙන් කථා නොකෙරෙති. ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාස තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය. එම්බා ඉශ්‍රායෙල්, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. ස්වාමීන්වහන්සේ අප සිහිකළසේක; අපට ආශීර්වාදකරනසේක. උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට ආශීර්වාදකරනසේක; උන්වහන්සේ ආරොන්ගේ වංශයට ආශීර්වාදකරනසේක. ස්වාමීන් කෙරෙහි භය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශීර්වාදකරනසේක. ස්වාමීන්වහන්සේ නුඹලා හා නුඹලාගේ දරුවන් වඩ වඩා වර්ධනයකරනසේක්වා. අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගෙන් නුඹලා ආශීර්වාදලද්දෝය. ස්වර්ග වනාහි ස්වාමීන්ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක. මළාහුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නාහුවත් ස්වාමීන්ට ප්‍රශංසා නොකෙරෙති; නුමුත් අපි මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් වර්ණනාකරන්නෙමුව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

ගීතාවලිය 115:1-18 Sinhala New Revised Version (NRSV)

සමිඳුනි, අප නිසා නොව, අප නිසා නොව, ඔබේ තිර පෙම නිසාත්, සත්‍යවාදිකම නිසාත්, ඔබේ නාමය නිසාත් ඔබේ මහිමාලංකාරය ප්‍රකාශ කළ මැනව. “ඔවුන්ගේ දෙවිඳාණෝ දැන් කොතැන්හි දැ”යි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමට ද? අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය; තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක. ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය; මිනිසුන්ගේ දෑතේ වැඩ ය. ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි; කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි; ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි; පාද ඇත, එහෙත්, නොඇවිදියි; උගුරෙන් ශබ්ද නොකරයි. ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය; ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය. එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය. සමිඳුන් නමදින සියල්ලෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය. සමිඳාණෝ අප සිහිකරන සේක; අපට ආශීර්වාද කරන සේක; එතුමාණෝ ඉශ්රායෙල් වංශයට ආශීර්වාද කරන සේක; එතුමාණෝ ආරොන්ගේ වංශයට ආශීර්වාද කරන සේක. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියල්ලන්ට එතුමාණෝ ආශීර්වාද කරන සේක. සමිඳාණෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක් වා! අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා! ස්වර්ගය වනාහි සමිඳුන්ට පමණක් අයිති ය. එහෙත්, පොළොව එතුමාණෝ මිනිසුන්ට දුන් සේක. මියගිය අය වත්, පාතාල ලෝකයේ අය වත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති. එහෙත් අපි, ජීවත් ව සිටින අපි, මෙතැන් පටන් සදහට ම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

ගීතාවලිය 115:1-18 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්ස, අප නිසා නොව, අප නිසා නොව, ඔබේ තිර පෙම නිසාත්, සත්‍යවාදිකම නිසාත්, ඔබේ නාමය නිසාත් ඔබේ මහිමාලංකාරය ප්‍රකාශ කළ මැනව. “ඔවුන්ගේ දෙවිඳාණෝ දැන් කොතැන්හි දැ”යි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමට ද? අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය; තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක. ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය; මිනිසුන්ගේ දෑතේ වැඩ ය. ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි; කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි; ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි; පාද ඇත, එහෙත්, නොඇවිදියි; උගුරෙන් ශබ්ද නොකරයි. ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය; ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය. එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය. සමිඳුන් නමදින සියල්ලෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය. සමිඳාණෝ අප සිහිකරන සේක; අපට ආශීර්වාද කරන සේක; එතුමාණෝ ඉශ්රායෙල් වංශයට ආශීර්වාද කරන සේක; එතුමාණෝ ආරොන්ගේ වංශයට ආශීර්වාද කරන සේක. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියල්ලන්ට එතුමාණෝ ආශීර්වාද කරන සේක. සමිඳාණෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක් වා! අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා! ස්වර්ගය වනාහි සමිඳුන්ට පමණක් අයිති ය. එහෙත්, පොළොව එතුමාණෝ මිනිසුන්ට දුන් සේක. මියගිය අය වත්, පාතාල ලෝකයේ අය වත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති. එහෙත් අපි, ජීවත් ව සිටින අපි, මෙතැන් පටන් සදහට ම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.