හිතෝපදේශ 7:7-23

හිතෝපදේශ 7:7-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අනුවණ ජනයා අතරෙහි මම බැලුවෙමි; අවබෝධයෙන් තොර තරුණයකු යෞවනයින් අතර මම දුටුවෙමි. ඔහු වීදිය ඔස්සේ ඇගේ ලැගුම්පල අසලින් ඇගේ නිවස දෙසට යමින් සිටියේ ය. ඒ දවස ගෙවීගෙන යන සවස් ගොම්මනේ ය; රැයේ අඳුර වට කොට ගන්නා වෙලාවේ ය. එවිට මෙන්න ගැහැණියක්, ඔහු හමුවට ආවා ය; වංචනික අරමුණින් යුතු වූ ඈ සැරසී සිටියේ වෙසඟනකගේ ඇඳුමිනි. කටකාර, තද මුරණ්ඩු තැනැත්තියක වූ ඈ, කිසිවිටකත් ගෙදර නො රඳන්නී ය. විටෙක ඈ වීදියට යන්නී ය, විටෙක කඩ මණ්ඩියට පිය නගන්නී ය; හැම මුල්ලක ම රැක සිට ඉව අල්ලන්නී ය. ඈ ඔහු අල්ලා ඔහු සිපගෙන, විලි ලජ්ජා නැති මුහුණින් මෙසේ කීවා ය: “මා අද පූජා කළ ශාන්ති පූජාවේ මස ගෙදර තියේ; අද මා මගේ බාර-හාර ඔප්පු කළා. ඔබ හමුවන්නයි මා ගෙයින් පිටතට ආවේ; ඔබ සොයාගෙනයි මා මේ ආවේ, මෙන්න දැන් මට ඔබ හමුවෙලා! ඊජිප්තුවේ හණ නූලෙන් කළ වෛවර්ණ ඇතිරිලි මගේ යහනේ එළා තියේ. සුවඳලාටු, අගිල් හා කුරුඳුවලින් මගේ යහන මා සුවඳ ගැල්වූවා. එන්න, එළිවන තුරා අපි ආලයේ මධුවිත බොමු; අපි ආදර මිහිර විඳිමු. මගේ සැමියා ගෙදර නැත; එයා දුර ගමනක් ගිහින්. ලොකු මුදලක් අතේ ඇති ව ගිය නිසා ඔහු එන්නේ පුන් පෝයටත් පස්සේ” යි කීවා ය. ඈ තම ඉච්චා බසින් ඔහු වසඟ කර ගත්තා ය; තම මුදු තෙපුලින් ඔහු නොමගට හරවා ගත්තා ය. එකෙණෙහි ම ඔහු ඈ පසු පස ඇදුනේ, මස් කඩයට ගෙන යන හරකකු පරිද්දෙනි; ඇටවූ තොණ්ඩුවකට පා තබන මුවකු පරිද්දෙනි. හීයක් තම අක්මාව සිදුරු කරන තුරු ඌ ඒ වග නො දත්තේ ය. තම ජීවිතය ම අවදානමේ බව නො දැන මළපුඩුවකට වේගයෙන් ඇදී යන කුරුල්ලකු පරිද්දෙනි.

හිතෝපදේශ 7:7-23 Sinhala Revised Old Version (SROV)

මොළය නැති තරුණයෙක් අනුවණයන් අතරේ මට පෙනුණේය; ඔහු යෞවනයන් අතරේ ඉන්නවා දුටිමි. ඔහු සවස ඇඳිරියෙහි, මධ්‍යම රාත්‍රියේ කළුවරෙහි, ඇගේ ගෙයි කොන ළඟ වීථිය පසුකොට, ඇගේ ගෙට යන මාර්ගයෙහි ගියේය. එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය. ඈ ඝෝෂාකාරවූ හිතුවක්කාර තැනැත්තියෙක්ය; ඇගේ පාද ඇගේ ගෙයි නොරඳයි. ඈ සමහරවිට වීථිවලද සමහරවිට එළිමහන් ඉඩම්වලද සිටින්නීය, සියලු මංසන්ධිවලද රැක සිටින්නීය. මෙසේ ඈ ඔහු අල්ලා සිඹ, ලජ්ජා නැති මුහුණක් ඇතුව ඔහුට කථාකොට: ශාන්ති පූජා මා ළඟ තිබේ; අද මාගේ භාර ඉෂ්ටකෙළෙමි. එබැවින් නුඹේ මුහුණ සොයා, නුඹ සම්බවෙන පිණිස පිටතට ආවෙමි, මෙසේ නුඹ සම්බවිය. මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ. සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි. එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්‍රීතිවෙමු. මක්නිසාද ස්වාමිපුරුෂයා ගෙදර නැත, ඔහු දුර ගමනක් ගියේය. ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේයයි කීවාය. ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි. ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, අඥානයෙකු විලංගුවේ දඬුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු, මලපත තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය.

හිතෝපදේශ 7:7-23 Sinhala New Revised Version (NRSV)

එවිට අනුවණයන් අතර මෝඩ තරුණයෙකු සිටිනු දුටිමි. ඔහු, අඳුර වැටෙද්දී, ගොම්මං වේලාවේ දී, මැදියම් රෑ කළුවරෙහි දී, ඇගේ ගේ අද්දර වීදිය පසු කොට ඇගේ ගෙට යන මාවතෙහි ගමන් කෙළේ ය. එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර හැඳ, රැවටිලිකාර ස්ත්‍රියක මෙන් ඔහුට මුණගැසුණා ය. ඈ අඟරදඟර කරන චපල ස්ත්‍රියකි, ඈ කොයි වේලාවෙත් ගෙදර නැත. විටක ඈ වීදිවල ද විටක ඈ වෙළෙඳ පොලේ ද සෑම මංසන්දියක ද සෝදිසියෙන් බලා සිටියි. මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විළි ලජ්ජා කිසිත් නැති ව ඔහුට මෙසේ කීවා ය: “මම අද මාගේ පුද පූජා පැවැත්වීමි; බාරහාර ඉෂ්ට කෙළෙමි. ඔබ හමු වන පිණිස ආශාවෙන් ඔබ සොයා ආයේ ඒ නිසා ය. දැන් ඉතින් ඔබ මට හමු විය. මිසරයේ පාට පාට නූල්වලින් කළ විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත. සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි. එන්න, උදය වන තුරු පෙම් බඳුනෙන් බොමු; ආදරය බී මත්වෙමු. අද මාගේ පුරුෂයා ගෙදර නැත; ඔහු ඈත දුර ගමනක් ගොස් ඇත. ඔහු බොහෝ මුදල් රැගෙන ගියේ ය; මහ පෝය වන තුරු ඔහු ගෙදර එන්නේ නැත.” ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය. එකෙණෙහි ම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන් ද මලපුඩුවට දුවන මුවෙකු මෙන් ද උගුලට වහා පියාඹා යන පක්ෂියෙකු මෙන් ද ඇය කැටුව ගියේ ය. ඊගස ඔහුගේ අක්මාව විදගෙන යන තුරු, තමන් අනතුරෙහි සිටින බව ඔහු නොදත්තේ ය.

හිතෝපදේශ 7:7-23 Sinhala New Revised Version 2018 (SNRV)