හිතෝපදේශ 3:1-8

හිතෝපදේශ 3:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මා පුත, මගේ ඉගැන්වීම් අමතක නො කරන්න; මගේ ආඥා ඔබේ හදේ රඳවා තබා ගන්න. මන්ද ඒවා ඔබේ ජීවිතයේ දවස් හා අවුරුදු කාල ප්‍රමාණය ද ඔබට සාමය හා සමෘද්ධිය ද වැඩි කර දෙන්නේ ය. දයා-ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් ඔබගෙන් ඈත් ව නො යේවා! ඒවා ඔබ ගෙල බැඳ ගන්න; හදවත් පුවරුවේ ලියා තබා ගන්න. එවිට, දෙවියන්වහන්සේ ඉදිරියේ මෙන් ම මිනිසුන් ඉදිරියේදී, ප්‍රසාදයත්, හොඳ නමත් ඔබ දිනාගනු ඇත. ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට, ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න; එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත. ඔබ ප්‍රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න. එයින් ඔබේ සිරුරට සුවය ගෙනේ; ඔබේ ඇටකටුවලට පෝෂණය ලැබේ.

හිතෝපදේශ 3:1-8 Sinhala Revised Old Version (SROV)

මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය. කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න. එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුවෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත. නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත. නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.

හිතෝපදේශ 3:1-8 Sinhala New Revised Version (NRSV)

මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපණත් ඔබ හද තුළ රැකගන්න. එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය. පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න. එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය. හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත. ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත.

හිතෝපදේශ 3:1-8 Sinhala New Revised Version 2018 (SNRV)

මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපනත් ඔබ හද තුළ රැකගන්න. එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය. පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න. එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය. හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත. ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත.