හිතෝපදේශ 3

3
සදාචාරයේ අගය
1මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න;
මාගේ අණපනත් ඔබ හද තුළ රැකගන්න.
2එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය;
චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය:
සව් සිරින් වැඩිවන්නෙහි ය.
3පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න;
ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න.
ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න.
4 # ලූක් 2:52 එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය.
5හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න.
6හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න;
එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.
7 # රෝම 12:16 ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න.
සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න.
8එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත.
9ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න.
10එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත;
මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත.
11 # ජෝබ් 5:17 # හෙබ්‍රෙ 12:5-6 මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න.
එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න.
12 # එළිද 3:19 පියෙකු සිය ප්‍රියාදර පුතු හට යම් සේ දඬුවම් කරන්නේ ද, එසේ ම සමිඳාණෝ සිය පෙම්වතුන්ට දඬුවම් දෙන සේක.
ප්‍රඥා සම්පත
13ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත!
14එයින් ලැබෙන යසඉසුරු, රිදීයටත්, තනි රත්රනටත් වඩා අගනේ ය.
15ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය;
ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය.
16දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය:
ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය,
17ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය;
ඇගේ සියලු මාවත් සත් හට සෙත් දෙයි.
18ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි;
එවැනියන්ගේ වාසනාවක මහත!
19සමිඳාණෝ ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් ලූ සේක.
බුද්ධියෙන් අහස් මණ්ඩලය පිහිටෙවූ සේක.
20එතුමන්ගේ ඥානයෙන් පොළොවේ ගැඹුරු තැන් කණිනු ලැබී ය;
වලාකුළුවලින් පිනි බින්දු කාන්දු වනු ඇත.
නැණවතුන්ගේ වාසනාව
21මාගේ පුත්‍රය, විචක්ෂණ බුද්ධිය ද තීක්ෂණ ඥානය ද දියුණු කරගන්න.
ඒවා ඔබ කෙරෙන් පහ ව යන්න ඉඩ නොදෙන්න.
22ඒවා ඔබට ජීවනය ද ඔබේ ගෙලට ආභරණයක් ද වනු ඇත.
23එවිට ඔබේ දෙපා නොපැකිළ, ඔබ සුව සේ ජීවන මඟ යනු ඇත;
24සැතපෙන කල ඔබට බියක් නැත;
ඔබේ නින්ද සැපදායක වනු ඇත.
25හදිසි භීතියට වත් දුදනන්ගෙන් එන දුර්විපතට වත්, බිය නොවන්න.
26සමිඳාණෝ ඔබ සුරක්නා සේක;
ඔබේ දෙපා උගුලට අසු නොවන සේ රක්නා සේක.
27ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න.
28හැකියාව තිබිය දීත්, “ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න.
29ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී,
ඔහුට විරුද්ධ ව උපායක් නොයොදන්න.
30ඔබට වරදක් නොකරන කෙනෙකු සමඟ නිකරුණේ නඩුහබයට නොබසින්න.
31සාහසිකයෙකු ආදර්ශයට නොගන්න;
ඔවුන් අනුගමනය නොකරන්න;
32වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි;
එතුමන්ගේ ප්‍රසාදය අවංක අය සමඟ ය.
33දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත;
සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක.
34 # ජාකො 4:6; 1 පේදු 5:5 නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක;
යටහත් අයට ප්‍රසාදය දක්වන සේක.
35නැණවතුන් හට කීර්තිය උරුම වේ;
නැණ හීනයන් හට අපකීර්තිය හිමි වේ.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 3: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න