ශු. මාර්ක් 11:11-19
ශු. මාර්ක් 11:11-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ යෙරුසලමට පැමිණ, දේව මාලිගයට ඇතුළු ව එහි වූ සියල්ල දෙස බලා, ඒ වන විටත් සවස් ව තිබූ බැවින්, දොළොස් දෙනා ද කැටිව බෙතානිය බලා ගිය සේක. පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම එන කල, යේසුස්වහන්සේට කුස ගිනි විය. කොළ සහිත අත්තික්කා ගහක් උන්වහන්සේ දුරදීම දැක, එයින් යමක් හමුවේදැයි බැලීමට ගිය සේක්, ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් දෙයක් උන්වහන්සේ දුටුවේ නැත. මන්ද එය අත්තික්කා වාරය නො වී ය. එවිට උන්වහන්සේ ඒ ගස අමතා, “කිසිවෙක් යළි කිසි දින නුඹෙන් පල අනුභව නො කරත්වා” යි පැවසූ සේක. උන්වහන්සේගේ ගෝලයින්ට එය ඇසිණි. ඔවුහු යෙරුසලමට පැමිණියහ. යේසුස්වහන්සේ දේව මාලිගයට ඇතුළු ව, දේව මාලිගය තුළ විකුණමින් හා මිලයට ගනිමින් සිටියවුන් පිටතට පලවා හරින්නට පටන් ගත් සේක්, මුදල් මාරුකරන්නන්ගේ මේස ද පරෙවි වෙළඳුන්ගේ ආසන ද පෙරළා දැමූ සේක. දේව මාලිගය මැදින් කිසිවක් ගෙන යෑමට උන්වහන්සේ කිසිවකුට ඉඩ දුන්නේ නැත. ඉන්පසු යේසුස්වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’ කියා ලියා නැද්ද? එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කර තිබේ යැ” යි පැවසූ සේක. ඒ ඇසූ නායක පූජකවරු හා දහම් පඬිවරු, උන්වහන්සේ මරා දැමීමට සෙවූහ. මන්ද මුළු පිරිස උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූ බැවින් ඔවුහු උන්වහන්සේට භය වූහ. සවස් වූ කල යේසුස්වහන්සේ නුවරින් නික්ම ගිය සේක.
ශු. මාර්ක් 11:11-19 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේද යෙරුසලමට පැමිණ, දේවමාළිගාවට ඇතුල්ව, අවට සියල්ල බලා, සවස්වී තිබුණු බැවින් දොළොස්දෙනා සමඟ බෙතානියට පිටත්ව ගියසේක. පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත්ව එද්දී, උන්වහන්සේට බඩගිනිවිය. කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක, එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස වෙන කිසිවක් සම්බ නොවීය; මක්නිසාද ඒ වනාහි අත්තික්කා වාරය නොවීය. උන්වහන්සේ කථාකොට: මෙතැන් පටන් කිසිකලක කිසිවෙක් නුඹෙන් ඵල නොකාවයි ගසට කීසේක. ඒ කීම උන්වහන්සේගේ ගෝලයන්ට ඇසුණේය. ඔව්හු යෙරුසලමට පැමිණියෝය. උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව, එහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි අය පිටතට පන්නාහරින්ට පටන්ගෙන, මිලමාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළා දමා, දේවමාළිගාව මැදින් කිසි භාජනයක් ගෙනයන්ට කිසිවෙකුට ඉඩ නුදුන්සේක. උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්: මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුයයි කීසේක. නායක පූජකයෝද ලියන්නෝද ඒ අසා, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි සෙවුවෝය. මක්නිසාද උන්වහන්සේගේ ඉගැන්වීම ගැන මුළු සමූහයා විස්මයට පත්වූ බැවින්, ඔව්හු උන්වහන්සේට භයවූවෝය. සවස්වූ කල්හි උන්වහන්සේ නුවරින් පිටත්ව ගියසේක.
ශු. මාර්ක් 11:11-19 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුළු ව අවට සියල්ල නරඹා, සවස් වූ බැවින් දොළොස් දෙනා සමඟ බෙතානිය බලා නික්ම ගිය සේක. පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය. උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් කිසිවක් සම්බ නො වී ය. ඒ අත්තික්කා වාරය නුවූ බැවිනි. උන් වහන්සේ, “මෙවක් පටන් සදහට ම කිසිවෙක් කිසි කලෙක තාගෙන් පල අනුභව නොකරත්වා”යි ගසට වදාළ සේක. එය උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසිණි. ඔව්හු ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවට පිවිස එහි වෙළහෙළඳාම් කළවුන් පිටතට පලවා හරින්න පටන්ගෙන, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා, දේව මාලිගාව මැදින් කිසිදු දෙයක් ගෙන යන්න කිසිවෙකුට ඉඩ නුදුන් සේක. උන් වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයකැ’යි කියනු ලබන බව ලියා නැද් ද? එහෙත් ඔබ එය හොරුන්ගේ ගුහාවක් කර ඇතැ”යි වදාළ සේක. නායක පූජකවරු ද විනයධරයෝ ද ඒ අසා උන් වහන්සේ නසාදැමීමට මඟක් සෙවූ හ. මන්ද, උන් වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විස්මිත වූ බැවින් ඔව්හු උන් වහන්සේට බිය වූ හ. සවස් වූ විට උන් වහන්සේ නුවරින් නික්ම ගිය සේක.
ශු. මාර්ක් 11:11-19 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. මාර්ක් 11:11-19 New International Version (NIV)
Jesus entered Jerusalem and went into the temple courts. He looked around at everything, but since it was already late, he went out to Bethany with the Twelve. The next day as they were leaving Bethany, Jesus was hungry. Seeing in the distance a fig tree in leaf, he went to find out if it had any fruit. When he reached it, he found nothing but leaves, because it was not the season for figs. Then he said to the tree, “May no one ever eat fruit from you again.” And his disciples heard him say it. On reaching Jerusalem, Jesus entered the temple courts and began driving out those who were buying and selling there. He overturned the tables of the money changers and the benches of those selling doves, and would not allow anyone to carry merchandise through the temple courts. And as he taught them, he said, “Is it not written: ‘My house will be called a house of prayer for all nations’? But you have made it ‘a den of robbers.’” The chief priests and the teachers of the law heard this and began looking for a way to kill him, for they feared him, because the whole crowd was amazed at his teaching. When evening came, Jesus and his disciples went out of the city.