ශු. මාර්ක් 11:11-19

ශු. මාර්ක් 11:11-19 SROV

උන්වහන්සේද යෙරුසලමට පැමිණ, දේවමාළිගාවට ඇතුල්ව, අවට සියල්ල බලා, සවස්වී තිබුණු බැවින් දොළොස්දෙනා සමඟ බෙතානියට පිටත්ව ගියසේක. පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත්ව එද්දී, උන්වහන්සේට බඩගිනිවිය. කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක, එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස වෙන කිසිවක් සම්බ නොවීය; මක්නිසාද ඒ වනාහි අත්තික්කා වාරය නොවීය. උන්වහන්සේ කථාකොට: මෙතැන් පටන් කිසිකලක කිසිවෙක් නුඹෙන් ඵල නොකාවයි ගසට කීසේක. ඒ කීම උන්වහන්සේගේ ගෝලයන්ට ඇසුණේය. ඔව්හු යෙරුසලමට පැමිණියෝය. උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව, එහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි අය පිටතට පන්නාහරින්ට පටන්ගෙන, මිලමාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළා දමා, දේවමාළිගාව මැදින් කිසි භාජනයක් ගෙනයන්ට කිසිවෙකුට ඉඩ නුදුන්සේක. උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්: මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුයයි කීසේක. නායක පූජකයෝද ලියන්නෝද ඒ අසා, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි සෙවුවෝය. මක්නිසාද උන්වහන්සේගේ ඉගැන්වීම ගැන මුළු සමූහයා විස්මයට පත්වූ බැවින්, ඔව්හු උන්වහන්සේට භයවූවෝය. සවස්වූ කල්හි උන්වහන්සේ නුවරින් පිටත්ව ගියසේක.