ශු. මාර්ක් 1:12-20

ශු. මාර්ක් 1:12-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එකෙණෙහි ආත්මයාණන්වහන්සේ, පාළුකරයට උන්වහන්සේ පිටත් කළ සේක. සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින්, උන්වහන්සේ දවස් හතළිහක් පාළුකරයේ සිටි සේක. උන්වහන්සේ වන සතුන් අතරේ සිටි සේක්, දේව දූතයෝ උන්වහන්සේට සත්කාර කළහ. යොහන් සිර ගෙයි දමනු ලැබූ පසු, යේසුස්වහන්සේ ගලීලයට පැමිණ, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කරමින්, “කාලය සම්පූර්ණ වී ඇත; දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළං ව තිබේ. පසුතැවිලි වී ශුභාරංචිය අදහාගන්නැ!” යි පැවසූ සේක. යේසුස්වහන්සේ ගලීල මුහුදු වෙරළේ ඇවිද යන අතරේ, සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ මුහුදේ දැලක් හෙළනු දුටු සේක; මන්ද ඔවුහු ධීවරයෝ ය. යේසුස්වහන්සේ ඔවුන් ඇමතූ සේක්, “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” යි කී සේක. එකෙණෙහි ඔවුහු තම දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියහ. මද දුරක් ගිය කල සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් දැල් අලුත්වැඩියා කරමින්, ඔවුන්ගේ ඔරුවේ හිඳිනු දුටු උන්වහන්සේ, එකෙණෙහි ම ඔවුන් කැඳවූ සේක; එවිට ඔවුහු තම පියා වූ සෙබදී හා කුලීකරුවන් ඔරුවේ සිටින්නට හැර, උන්වහන්සේ අනුව ගියහ.

ශු. මාර්ක් 1:12-20 Sinhala Revised Old Version (SROV)

එකෙණෙහිම ආත්මයාණන්වහන්සේ උන්වහන්සේ වනාන්තරයට පැමිණෙවුසේක. උන්වහන්සේ සාතන් විසින් පරීක්ෂාකරනු ලබමින් සතළිස් දවසක් වනාන්තරයේ සිටිසේක; උන්වහන්සේ වන මෘගයන් අතරේ සිටිසේක; දේව දූතයෝ උන්වහන්සේට උපස්ථාන කළෝය. යොහන් පාවාදෙනු ලැබුවායින් පසු යේසුස්වහන්සේ ගලීලයට පැමිණ දෙවියන්වහන්සේගේ ශුභාරංචිය දේශනාකරමින්: කාලය සම්පූර්ණවිය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගන්නැයි කීසේක. උන්වහන්සේ ගලීලයේ මුහුද අද්දර යද්දී, මසුන් අල්ලන්නන්වූ සීමොන්ද සීමොන්ගේ සහෝදරවූ අන්දෘද මුහුදේ දැලක් හෙළනවා දැක: මා අනුව එන්න, මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් වෙන්ට සලස්වන්නෙමියි ඔවුන්ට කීසේක. එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ එතැනින් මදක් දුර ගොස්, සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද ඔරුවේ හිඳ දැල් අලුත්කරනවා දැක, එකෙණෙහිම ඔවුන්ට අඬගැසූසේක. ඔව්හුද තමුන්ගේ පියවූ සෙබදී වැඩකාරයන් සමඟ ඔරුවේ ඉන්ට හැර උන්වහන්සේ පස්සේ ගියෝය.

ශු. මාර්ක් 1:12-20 Sinhala New Revised Version (NRSV)

එම ඇසිල්ලෙහි ආත්මයාණෝ උන් වහන්සේ පාළුකරයට පැමිණෙවූ සේක. උන් වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් දින සතළිසක් පාළුකරයෙහි විසූ සේක; උන් වහන්සේ වන සතුන් අතර විසූ සේක. දේව දූතයෝ උන් වහන්සේට උපස්ථාන කළහ. ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක. ඒ දේශනාව මේ ය: “නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි. උන් වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදෙහි දැලක් දමනු දුටු සේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූ හ. ජේසුස් වහන්සේ ඒ දැක, “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ. උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක. ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.

ශු. මාර්ක් 1:12-20 Sinhala New Revised Version 2018 (SNRV)