ශු. මතෙව් 5:31-42

ශු. මතෙව් 5:31-42 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ ‘තම භාර්යාව දික්කසාද කරන කවරකු වුව, ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යැ’ යි කියා තිබේ. එහෙත් මා ඔබට කියන්නේ, ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර දමන කවරකු වුව, පරදාර සේවනයට ඇය යොමු කරවන වගයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කර ගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි. “තවද, ‘බොරුවට නො දිවුරන්න; ස්වාමින්වහන්සේට කළ ඔබේ දිවුරුම ඉටු කරන්නැ’ යි පුරාතන ජනයාට කියා ඇති වග ඔබ අසා ඇත. එහෙත් මා ඔබට කියන්නේ, කොහෙත් ම නො දිවුරන්න. ස්වර්ගය, දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් එය ගැනවත්, පොළොව, උන්වහන්සේගේ පා පුටුව බැවින් එය ගැනවත්, යෙරුසලම, ශ්‍රේෂ්ඨ රජුගේ පුරවරය බැවින් එය ගැනවත් නො දිවුරන්න. ඔබේ හිස ගැනත් නො දිවුරන්න; මන්ද එක් හිස කෙසක්වත් සුදු හෝ කළු කරන්නට ඔබට නො හැකි ය. ඔබ කියන දේ ‘ඔව්’ නම් ඔව් කියා ද හෝ ‘නැත’ නම් නැත කියා ද කීම සෑහේ; ඊට වැඩියෙන් පවසන දෑ එන්නේ නපුරාගෙනි. “ ‘ඇසකට ඇසකි; දතකට දතකි’ යි කියා ඇති බව ඔබ අසා ඇත. එහෙත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට එරෙහි නො වන්න. යමෙක් ඔබගේ දකුණු කම්මුලට ගැසුවහොත්, ඔහුට අනෙක් කම්මුලත් හරවන්න. නඩු කියා යමකු ඔබේ යටි කබාය ගන්නට කැමැත්තේ නම්, ඔබේ උඩු කබායත් ඔහුට දෙන්න. සැතපුමක් යන්නැයි යමකු ඔබට බල කළහොත්, ඔහු හා සැතපුම් දෙකක් ම යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න. ඔබෙන් ණයට ගන්නට කැමති තැනැත්තාට නො පිටුපාන්න.

ශු. මතෙව් 5:31-42 Sinhala Revised Old Version (SROV)

ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය. මම නුඹලාට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය. බොරුවට නොදිවුරව, ස්වාමීන්වහන්සේට නුඹේ දිවුරුම් ඉෂ්ටකරවයි පුරාතනයන්ට කී බවත් නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත්, පොළොව දෙවියන්වහන්සේගේ පාපුටුව බැවින් ඒක ගැනවත්, යෙරුසලම මහරජහුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරන්න. එක හිසකෙසක් සුදුකරන්ටවත් කළුකරන්ටවත් ඔබට නොහැකි බැවින් හිස ගැනත් නොදිවුරන්න. නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද: නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ. ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න. යමෙක් නඩු කියා නුඹේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට නුඹේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න. යමෙක් එක හැතැප්මක් යන්ට ඔබට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් යන්න. නුඹෙන් ඉල්ලන්නාට දෙන්න, නුඹෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.

ශු. මතෙව් 5:31-42 Sinhala New Revised Version (NRSV)

“තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත. එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.” “ ‘ දිවුරුම් කඩ නොකරන්න, සමිඳාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, කොහෙත් ම නොදිවුරන්න. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින් වත්, පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න. එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න. ඔබේ අදහස ‘එසේ ය’ කීම නම්, ‘එසේ ය’ කියා ද, ‘නැත’ කීම නම්, ‘නැත’ කියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.” “ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න. යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න. හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.”

ශු. මතෙව් 5:31-42 Sinhala New Revised Version 2018 (SNRV)