ශුද්ධවර මතෙව් 5:31-42
ශුද්ධවර මතෙව් 5:31-42 SNRV
“තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත. එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.” “ ‘ දිවුරුම් කඩ නොකරන්න, සමිඳාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, කොහෙත් ම නොදිවුරන්න. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින් වත්, පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න. එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න. ඔබේ අදහස ‘එසේ ය’ කීම නම්, ‘එසේ ය’ කියා ද, ‘නැත’ කීම නම්, ‘නැත’ කියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.” “ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න. යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න. හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.”

