ශු. මතෙව් 27:51-56

ශු. මතෙව් 27:51-56 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවේලේ මෙන්න! දේව මාලිගයේ තිරය ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. පොළොව කම්පනය විය. පර්වත දෙදරුම් කැවිණ. සොහොන් විවර වී, සැතපී සිටි බොහෝ ශුද්ධවතුන්ගේ සිරුරු නැගිටුවන ලදහ. ඔවුහු තම සොහොන්වලින් පිටතට අවුත්, යේසුස්වහන්සේගේ නැගිටීමෙන් පසු, ශුද්ධ නගරයට ඇතුල් ව බොහෝ දෙනකුට පෙනුණහ. යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන් ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසූහ. දුරින් සිට එදෙස බලා සිටි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. ඔවුහු යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආවෝ වූහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද වූහ.

ශු. මතෙව් 27:51-56 Sinhala Revised Old Version (SROV)

බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය; පර්වත පැළුණේය; සොහොන් ගෙවල්ද ඇරුණේය; සැතපී හුන්නාවූ නොයෙක් ශුද්ධවරයන්ගේ ශරීර නැගුටුවනලදුව, ඔව්හු උන්වහන්සේ නැගුටුණු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව, බොහෝ දෙනෙකුට පෙනුණේය. සියයකට මුලාදෑනියාද ඔහු සමඟ යේසුස්වහන්සේ රැකවල්කරමින් සිටි අයද පොළෝකම්පාවත් සිදුවූ දේත් දැක ඉතා භයපත්ව: සැබවින්ම මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීවෝය. යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ කැටුව ආවාවූ බොහෝ ස්ත්‍රීවරුත් එහි දුරින් බලා සිටියෝය. ඔවුන් අතරෙහි මග්දලායේ මරියාද යාකොබ් සහ යෝසෙස්ගේ මවුවූ මරියාද සෙබදීගේ පුත්‍රයන්ගේ මෑණියෝද සිටියෝය.

ශු. මතෙව් 27:51-56 Sinhala New Revised Version (NRSV)

දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි; සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ. උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ. ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ. ගලීලයේ සිට උන් වහන්සේ කැටුව අවුත්, උන් වහන්සේට ආවතේව කළ බොහෝ කාන්තාවෝ ද එහි දුරින් සිට බලා සිටියහ. මග්දලායේ මරියා ද ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ මව වූ මරියා ද සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද ඔවුන් අතර වූ හ.

ශු. මතෙව් 27:51-56 Sinhala New Revised Version 2018 (SNRV)