මතෙව් 27

27
යූදස් හා ලේ පිටිය
1උදයේ සියලු නායක පූජකවරු හා ජනතා වැඩිහිටියෝ යේසුස්වහන්සේ මරණයට පත් කරන්නට උන්වහන්සේට එරෙහිව කතිකා කළහ. 2ඔවුහු උන්වහන්සේ යදමින් බැඳ, පිටත ගෙන ගොස්, ආණ්ඩුකාර පිලාත්ට බාර දුන්හ.
3යේසුස්වහන්සේ පාවා දුන් යූදස්, උන්වහන්සේ මරණයට තීන්දු වූ වග දැක, කනස්සලු වී, රිදී කාසි තිහ ගෙන නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්, 4“නිර්දෝෂ ලේ පාවා දීමෙන් මා පව් කළා” යි කීවේ ය.
“ඉතින් අපට මොකද? ඒක උඹ ම බලාගනින්” යැයි ඔවුහු කීහ.
5දේව මාලිගය තුළට රිදී කාසි වීසි කළ ඔහු එතැනින් ඉවත් ව ගොස් එල්ලී මළේ ය.
6එහෙත් නායක පූජකවරු එම රිදී කාසි අහුලා, “දේව මාලිග භාණ්ඩාගාරයේ මේවා දැමීම යුතු නැත. මන්ද මේවා ලේ-මුදල් යැ” යි කීහ. 7එබැවින්, ඔවුහු සාකච්ඡා කර, එම මුදලින් අමුත්තන් සඳහා සොහොන් පිටියක් වශයෙන් කුඹල්කරුගේ කෙත මිලට ගත්හ. 8එබැවින් එම කෙත අද දවස දක්වාත් ලේ පිටිය නමින් හැඳින් වේ. 9මෙසේ, දිවැසිවර යෙරමියා විසින් ප්‍රකාශිත, “ඉශ්‍රායෙල් ජනයා විසින් උන්වහන්සේට නියම කරන ලද මිලය වන රිදී කාසි තිහ ගත් ඔවුහු, 10ස්වාමින්වහන්සේ මට අණ කළ පරිදි, කුඹල්කරුගේ කෙත මිලට ගැනීමට ඒ මුදල යෙදවූහ”#27:10 සෙකරි 11:12,13; යෙරමි 19:1-13;32:6-9 යන්න සම්පූර්ණ විය.
යේසුස්වහන්සේ පිලාත් ඉදිරිපිට
11මේ අතර යේසුස්වහන්සේ, ආණ්ඩුකරු ඉදිරියේ සිට ගත්තේ ය. ආණ්ඩුකරු, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවේ ය.
“ඔබ ම එසේ කියන්නෙහි යැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක.
12එහෙත් නායක පූජකයින් හා වැඩිහිටියන් උන්වහන්සේට චෝදනා කළ විට, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක. 13එවිට පිලාත්, “ඔබට ඇහෙන්නේ නැද්ද මොන තරම් දෑ ගැන මොවුන් ඔබට එරෙහිව සාක්ෂි දෙනවා ද කියා?” යි උන්වහන්සේගෙන් ඇසී ය. 14එහෙත් යේසුස්වහන්සේ ඒ එක චෝදනාවකට හෝ කිසි පිළිතුරක් නුදුන් සේක; එවිට ආණ්ඩුකරු මහත් විස්මයට පත් විය.
15ජනයා ඉල්ලන කවුරුන් හෝ එක් සිරකරුවකු, මංගල්‍යය නිමිත්තෙන් ආණ්ඩුකරු නිදහස් කර දෙන සිරිතක් විය. 16බරබ්බස්#27:16 බරබ්බස් ඇතැම් පිටපත්වල යේසුස් බරබ්බස් යැයි සඳහන් වේ. නම් වූ ප්‍රසිද්ධ සිරකරුවෙක් එකල ඔවුන්ට සිටියේ ය. 17එබැවින්, ජනයා එක් රොක් වූ කල පිලාත්, ඔවුන් අමතමින්, “මා ඔබට කවරකු නිදහස් කර දෙනවාට ඔබ කැමති ද? බරබ්බස් ද? නැති නම් ක්‍රිස්තුස් ය කියන යේසුස් දැ?” යි ඇසී ය. 18මන්ද ඔවුන් තමා අතට උන්වහන්සේ පාවා දුන්නේ ඊර්ෂ්‍යාව නිසා බැව් ඔහු දැන සිටියේ ය.
19පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය.
20ඒ අතර නායක පූජකයෝ හා වැඩිහිටියෝ, බරබ්බස් නිදහස් කරන ලෙසත්, යේසුස්වහන්සේ මරා දමන ලෙසත් ඉල්ලන්නට සමූහයා කැමති කරවා ගත්හ.
21ආණ්ඩුකාරයා යළි ඔවුන් අමතමින්, “මේ දෙදෙනාගෙන් කවුරු මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය.
“බරබ්බස්” යයි ඔවුහු කීහ.
22“එසේ නම්, ක්‍රිස්තුස් ය කියන මේ යේසුස්ට මා කුමක් කළ යුතු දැ?” යි පිලාත් ඇසී ය.
“ඔහු කුරුසියේ ඇණ ගසනු” යි ඔවුහු සියල්ලෝ කීවෝ ය.
23“ඇයි? ඔහු මොන අපරාධයක් කළාට දැ?” යි පිලාත් ඇසී ය.
එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කියමින් ඝෝෂා කළහ.
24තම වෑයම නිෂ්ඵල බවත්, ඊටත් වඩා ඔවුන්ගේ ගාලගෝට්ටිය ඇරඹුණු බවත් දුටු පිලාත්, ජලය ගෙන සමූහයා ඉදිරියේ තම අත් සෝදා ගනිමින්, “මේ මිනිසාගේ ලේ ගැන මා නිර්දෝෂයි. එහි වගකීම නුඹලා පිට යැ!” යි කීවේ ය.
25මුළු ජනතාව පිළිතුරු දෙමින්, “ඔහුගේ ලේ අප පිටත්, අපගේ දරුවන් පිටත් වේවා!” යි කීහ.
26ඉන්පසු ඔවුනට බරබ්බස් නිදහස් කර දුන් පිලාත්, යේසුස්වහන්සේට තලවා, කුරුසියේ ඇණ ගසන්නට බාර දුන්නේ ය.
යේසුස්වහන්සේට අවමන්
27ඉන්පසු ආණ්ඩුකරුගේ හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට යේසුස්වහන්සේ ගෙන ගොස්, මුළු හේවා සේනාංකය ම උන්වහන්සේ ඉදිරියේ රැස් කරවූහ. 28ඔවුහු උන්වහන්සේගේ ඇඳුම් ගලවා දමා, තද රත් පැහැ ලෝගුවක් උන්වහන්සේට ඇඳවූහ. 29ඉන්පසු කටු ඔටුන්නක් ගොතා, එය උන්වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් උන්වහන්සේගේ සුරතෙහි තබා, උන්වහන්සේ අබියස දණ ගසා, උන්වහන්සේට සමච්චල් කරමින්, “යුදෙව් රජ දිනේවා!” යි කීවෝ ය. 30උන්වහන්සේට කෙළ ගැසූ ඔවුහු, බට දණ්ඩ ගෙන, උන්වහන්සේගේ හිසට ඉන් පහර දුන්හ. 31මෙසේ ඔවුහු සරදම් කළ පසු, ලෝගුව ගලවා, උන්වහන්සේගේ ම ඇඳුම් අඳවා, කුරුසියේ ඇණ ගසනු පිණිස පිටතට උන්වහන්සේ ගෙන ගියහ.
යේසුස්වහන්සේ කුරුසිපත් කරනු ලැබීම
32ඔවුන් පිටතට යද්දී, නමින් සීමොන් වූ සිරේනියානු මිනිසෙක් ඔවුනට මුණ ගැසිණි. උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට ඔවුහු ඔහුට බල කළහ. 33හිස්කබලේ ස්ථානය යන අරුතැති ගොල්ගොතා නමින් හැඳින්වෙන ස්ථානයට ළඟා වූ කල, 34ඔවුහු තිත්ත රස මුසු මිදි යුෂ උන්වහන්සේට බොන්නට දුන්හ. උන්වහන්සේ එය දිව ගා, ප්‍රතික්ෂේප කළ සේක. 35උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ ඔවුහු, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට පස ඇට දැමූහ. 36ඉන්පසු එතැන හිඳගත් ඔවුහු උන්වහන්සේ මුර කළහ. 37උන්වහන්සේට එරෙහිව වූ චෝදනාව උන්වහන්සේගේ හිසට උඩින්, යුදෙව්වන්ගේ රජු වූ යේසුස් ය මේ යනුවෙන් ලියන ලද පුවරුවක් විය.
යුදෙව්වන්ගේ රජු වූ යේසුස් ය මේ.
38සොරුන් දෙදෙනෙක් ද එක් කෙනකු උන්වහන්සේගේ දකුණු පසින් හා අනෙකා උන්වහන්සේගේ වම් පසින් සිටින සේ එහි උන්වහන්සේ සමඟ කුරුසිපත් කළහ. 39එතැන පසු කර ආ-ගිය අය තම හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, 40“දේව මාලිගාව කඩා, තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ, නුඹ ම ගලවා ගනින්! නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැස එනු” යි පැවසූහ. 41නායක පූජකවරු ද දහම් පඬිවරුන් හා වැඩිහිටියන් සමඟ උන්වහන්සේට සමච්චල් කරමින්, 42“ඔහු අනුන් ගැලෙව්වා! එහෙත් තමා ම ගලවා ගන්න බැහැ! ඔහු ඉශ්‍රායෙල් රජ්ජුරුවෝ නො වැ, ඔහු කුරුසියෙන් බැස ආවා වේ! එවිට අප ඔහු විශ්වාස කරනවා. 43ඔහු දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබයි. දෙවියන්වහන්සේ ඔහුට කැමති සේක් නම්, උන්වහන්සේ ඔහු ගලවන සේක්වා! මන්ද ‘මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ’ යි ඔහු කියා ඇතැ” යි කීහ. 44උන්වහන්සේ සමඟ කුරුසිපත් කර සිටි සොරු ද එලෙස ම උන්වහන්සේට නින්දා අපහාස කළහ.
යේසුස්වහන්සේගේ මරණය
45හය වන පැයේ සිට නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. 46නව වන පැයේදී පමණ යේසුස්වහන්සේ උස් හඬින් මොර ගසමින්, “ඒලී, ඒලී, ලාමා සබක්තානි?” පැවසූ සේක. එහි අරුත “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?”#27:46 ගීතා 22;1 යනුයි.
47ඒ ඇසූ එතැන සිටි ඇතමෙක්, “මේ මිනිසා එලියාට හඬ ගසනවා යැ” යි කීහ.
48ඔවුන්ගෙන් කෙනෙක් වහා දිව ගොස් මූදු හත්තක් ගෙන, මිදි යුෂ-විනාකිරෙන් එය පොඟවා, දණ්ඩක අමුණා යේසුස්වහන්සේට බොන්නට ළං කළේ ය. 49එවිට සෙසු අය, “ඔහොම ඉන්න දෙන්න; ඔහු ගලවන්නට එලියා ඒදැයි බලමු” යි කීහ.
50යළිත් වරක් උස් හඬින් මොර ගැසූ යේසුස්වහන්සේ තම ආත්මය බාර දුන් සේක.
51එවේලේ මෙන්න! දේව මාලිගයේ තිරය ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. පොළොව කම්පනය විය. පර්වත දෙදරුම් කැවිණ. 52සොහොන් විවර වී, සැතපී සිටි බොහෝ ශුද්ධවතුන්ගේ සිරුරු නැගිටුවන ලදහ. 53ඔවුහු තම සොහොන්වලින් පිටතට අවුත්, යේසුස්වහන්සේගේ නැගිටීමෙන් පසු, ශුද්ධ නගරයට ඇතුල් ව බොහෝ දෙනකුට පෙනුණහ.
54යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන් ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසූහ.
55දුරින් සිට එදෙස බලා සිටි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. ඔවුහු යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආවෝ වූහ. 56ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ#27:56 හෙවත් යෝසෙස් මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද වූහ.
යේසුස්වහන්සේගේ අවසන් කටයුතු
57යේසුස්වහන්සේගේ ගෝලයකු ව සිටි යෝසෙප් නම් වූ ධනවත් මනුෂ්‍යයෙක් සවස් වෙද්දී, අරමාතියේ සිට එහි ආවේ ය. 58ඔහු පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ඉල්ලී ය. එවිට එය ඔහුට බාර දෙන ලෙස පිලාත් නියෝග කළේ ය. 59යෝසෙප් දේහය ගෙන, පිරිසිදු හණ රෙද්දකින් ඔතා, 60පර්වතයක් කැණ තනා තිබූ ඔහුට ම අයත් අලුත් සොහොන් ලෙන තුළ දේහය තැන්පත් කළේ ය. ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා තැබූ ඔහු යන්නට ගියේ ය. 61මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන් ලෙන අබියස හිඳගෙන වුන්හ.
සොහොන් පොළ මුර කිරීම
62පසු දින, එනම් සූදානම් වීමේ දවසට පසු දින, නායක පූජකවරු හා පරිසිවරු පිලාත් වෙත රැස් වී, 63ඔහු අමතමින්, “මැතිඳුනි, ඒ ප්‍රයෝගකාරයා ජීවත් ව සිටියදී, ‘තුන් දිනකින් මම යළි නැගිටිමි’ යි කී බව අපට මතකයි. 64එබැවින් තුන් දවසක් යන තෙක් ඔහුගේ සොහොන රැකවල් ලන්නට අණ කරන්න. නැතහොත් ඔහුගේ ගෝලයින් අවුත්, මිනිය සොරාගෙන ගොස්, ඔහු මළවුන්ගෙන් නැගිටුණායි ජනයාට කියාවි. එවිට මේ අවසන් රැවටිල්ල, ඒ පළමු එකටත් වඩා නරක් වනු ඇතැ” යි කීහ.
65පිලාත් පිළිතුරු දෙමින්, “නුඹලාට මුර සෙබළු ඉන්නවා. ගොසින්, රිසි පරිදි සොහොන රැකවල් ලන්නැ” යි කීවේ ය. 66එබැවින් ඔවුහු ගොස්, සොහොන් ගල මුද්‍රා තබා, මුර භටයින් සිටුවා, සොහොන රැකවල් ලූහ.

දැනට තෝරාගෙන ඇත:

මතෙව් 27: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න