යෙසායා 56:3-8

යෙසායා 56:3-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේට තමන් ම බැඳුණු විදේශිකයා, “ස්වාමින්වහන්සේ තම ජනයා වෙතින් සැබවින් ම මා වෙන් කළ සේකැ” යි නො කියත්වා. තවද නපුංසකයා, “බලන්න, මා වියළි ගසක් පමණි” යි නො කියත්වා! මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මගේ සබත් පවත්වමින්, මට ප්‍රිය දෑ තෝරා ගනිමින්, මගේ ගිවිසුම තදින් අල්ලාගෙන, සිටින නපුංසකයින්ට, මගේ මාලිගාව හා මගේ පවුරු ඇතුළත අනගි සිහිවීමක් හා නාමයක් මම ප්‍රදානය කරමි. එය දූ පුතුනටත් වඩා අනගි එකකි. කිසි දිනෙකත් සිඳලනු නො ලබන සදාතනික නාමයක් මම ඔවුනට දෙන්නෙමි. තවද තමන් ම ස්වාමින්වහන්සේට බැඳෙන විදෙස්සන්, උන්වහන්සේට මෙහෙකිරීමටත්, ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රේම කිරීමටත්, උන්වහන්සේගේ සේවකයන් වීමටත්, සබත පවත්වන සියල්ලන්, එය නො කෙලෙසන්නන් හා මගේ ගිවිසුම තදින් ම අල්ලාගත්තවුන්– මම ඔවුන් මගේ ශුද්ධ කන්දට ගෙන ගොස්, මගේ යාච්ඤා ගෘහය තුළ ඔවුනට ප්‍රීතිය දෙන්නෙමි. ඔවුන්ගේ දවන යාග ද පූජා ද, මගේ පූජාසනය මතදී පිළිගනු ලැබේ. මන්ද ‘මගේ ගෘහය, සියලු ජනයින්ට උදෙසා යාච්ඤා ගෘහයකි’ යි හඳුන්වනු ලබනු ඇත.” ඉශ්‍රායෙල් පිටුවහලුන් එක් රැස් කරන පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “දැනටමත් එක් රැස් කරන ලද්දවුනට අමතරව මම තවත් ඔවුන් අතරට එක් රැස් කරන්නෙමි.”

යෙසායා 56:3-8 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේට එකතුවී සිටින විදේශියාද: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ වෙතින් මා සැබවින් වෙන්කරනසේකැයි නොකියාවා. නපුංසකයාද: බලව, මම වියළි ගසක්යයි නොකියාවා. මක්නිසාද මාගේ සබත් දවස් රක්ෂාකර, මා ප්‍රසන්න දේ තෝරාගෙන, මාගේ ගිවිසුම අල්ලාගෙන සිටින නපුංසකයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. එනම් මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා සිහිවීම් ලකුණක්ද නාමයක්ද ඔවුන්ට දෙන්නෙමි; සිදී නොයන සදාකාල නාමයක් ඔවුන්ට දෙන්නෙමි. ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද, මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය. පිටකරනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් එකතුකරන ස්වාමිවූ දෙවියන්වහන්සේ: ඔවුන් වෙතට එකතුවී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙතට එකතුකරදෙන්නෙමියි කියනසේක.

යෙසායා 56:3-8 Sinhala New Revised Version (NRSV)

සමිඳුන් සමඟ බැඳුණ විදේශිකයා, ‘සමිඳාණෝ සිය සෙනඟගෙන් මා වෙන් කරන සේකැ’යි නොකියා වා! නපුංසකයෙක්, ‘මම වියළි ගසක් වැන්නැ’යි නොකියා වා! සමිඳාණෝ මෙසේ පවසන සේක: “මාගේ සබත් දවස රක්ෂා කර, මා ප්‍රිය කරන දේ තෝරාගෙන, මාගේ ගිවිසුමෙහි ස්ථිර ව පිහිටා සිටින නපුංසකයෝ මාගේ මාලිගාවේ ප්‍රාකාරය ඇතුළේ දූදරුවන්ට වඩා උසස් නමක් ලබන්නෝ ය. එය කිසි කලක නොමැකෙන, සදහට ම පවතින නමක් වන්නේ ය. සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි. ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය. මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය. පිට කරනු ලැබූ ඉශ්රායෙල්වරුන් එකතු කරන මහෝත්තම දෙවි සමිඳාණෝ, ‘ඔවුන් වෙත එකතු වී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙත එකතු කරන්නෙමි’යි වදාරන සේක.”

යෙසායා 56:3-8 Sinhala New Revised Version 2018 (SNRV)